October 6, 2023

පොලිස්පති තනතුරට ස්ථිර නිලධාරියකු පත්නොකිරීම සහ ඉහළ නිලධාරීන් පොලිස්පති තනතුරට තියුණු තරගයක නිරතවීම හේතුවෙන් රට තුළ දිනෙන් දින අපාරාධ රැල්ල ඉහළ යමින් පවතින බවට සිවිල් සංවිධාන සහ විපක්ෂය කනස්සල්ල පළකරයි.

නව පොලිස්පතිවරයකු පත්කිරීම වෙනුවට ජනාධිපතිවරයා පසුගිය මාස 06 ඇතුළත සිදුකර ඇත්තේ, විශ්‍රාම යෑමට කැමැත්ත පළකර ඇති වත්මන් පොලිස්පතිවරයාට දෙවරක් සේවා දිගු ලබාදීමයි.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ලබාගත් දෙවන මාස තුනක සේවා දිගුව ලබන ඔක්තෝබර් 09 වැනිදා අවසන් වීමට නියමිතය.

මෙම තීරණාත්මක තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නාමයෝජනා ඉදිරිපත්කර නොමැති බැවින් වත්මන් පොලිස්පතිවරයාට නැවත වරක් තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රට පුරා වෙඩිතැබීම් සහ වෙනත් අපරාධ ඉහළ යෑමත් සමඟ රට පොරබදමින් සිටින ගැටලුකාරී තත්ත්වයක තුළ නව පොලිස්පතිවරයකු පත් කිරීම වඩාත් තීරණාත්මක වී තිබේ.

පොලිස්පතිවරයා වීමට අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යෑමට අපේක්ෂාවෙන් සිටින වත්මන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව කටයුතු කිරීමට අකමැතිවීම පොලිස් දෙපාර්තමේන්තුව තුළ විවිධ ප්‍රශ්න නිර්මාණය කිරීමට තුඩුදී ඇතැයි වාර්තා සඳහන් කරයි.

පොලිස්පති ධූරය සඳහා පවතින බල අරගලය හේතුවෙන් පොලිසිය තුළම බෙදීම් ඇති වී ඇති අතර, ඇතැම් නිලධාරීන් එම තනතුර සඳහා විවිධ පාර්ශ්ව සමඟ පෙළගැසෙමින් සිටින බවද වාර්තා විය.

2023 වසරේ පළමු මාස ​​09 තුළ මරණ 40ක් සමඟ වෙඩි තැබීමේ සිදුවීම් 80කට ආසන්න සංඛ්‍යාවක් රට තුළ වාර්තා වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මැදිහත්වීම සිදුවන්නේ, නව පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී පමණක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත තවමත් නාමයෝජනා ලැබී නොමැත.