October 4, 2023

බහුජාතික සමාගම් ආරක්ෂා කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට බරපතල චෝදනාවක් එල්ලවේ.

මෙම චෝදනාව එල්ල කරන්නේ, ජාතික සංවිධාන එකමුතුව විසිනි.

ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කරන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමාකරන බවයි.

දේශීය සබන් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව, ආනයනික ෆාම් තෙල් නිෂ්පාදන කිහිපයක් සඳහා සියයට 29 ක බද්දක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් නොකර කල්මැරීමට අදාළ චෝදනාවයි.

16/6/2023 දින නිකුත් කළ අංක 2336/69 දරන එම ගැසට් නිවේදනය 16/10/2023 දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත නොකළහොත් එම ගැසට් නිවේදනය අවලංගු වීමට නියමිතය.

එසේ ගැසට්ටුව අනුමත කිරීම පමාකරමින් බහු ජාතික සමාගමක උවමනාව ඉටුකරන්නේ පාර්ලිමේන්තුවේ මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා බවට අදාළ චෝදනාවෙන් වැඩිදුරටත් ප්‍රකාශ වේ.

ඒ පිළිබඳව අදහස් පළකරන වෛද්‍ය වසන්ත බණ්ඩාර ආචාර්ය හර්ෂ ද සිල්වාට චෝදනා 06ක් එල්ල කරනු ලබයි.

1. ඔහු මේ අර්බුද අවස්ථාවේ දී රටට රුපියල් මිලියන 2000 ක ආදායමක් අහිමි කරනවා.

2. ආනයන දිරිමත් කර ඩොලර් අර්බුදය වර්ධනය කරනවා.

3. බහුජාතික සමාගම්වලට සහන දීලා දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වට්ටනවා.

4. ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් තීරණයක් ගැනීම කූඨ ලෙස වළක්වා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම.

5. මුදල් කාරක සභාවේ මූලික වගකීමක් සභාපතිවරයා ලෙස, විශේෂයෙන්ම බහුජාතික සමාගමකට වාසි සැලසීමේ යටි අරමුණ සහිතව පැහැර හරිනවා.

6. නීතිය නමා සමාගම්වලින් අයුතු වාසි ලබාගන්නා බවට චෝදනා එල්ල වන ආකාරයට ක්‍රියාකිරීම මගින් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසීම.