42.31%
17.27%
32.76%
October 4, 2023

නාරාහේන්පිට පිහිටි පර්චස් 82කට අධික විශාල ඉඩමකට සහ එහි පිහිටි නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 12 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ පින්නැන්න ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගමේ සභාපති, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු දොළොස්දෙනෙකුට(12) ඊයේ (03) නොසීති නිකුත් කළේය .

ඇසෙන්ට් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වර්ණකුලසුරිය ප්‍රදීප් මාලිංග නමැති ව්‍යාපාරිකයා විසින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඔහු පැමිණීල්ලේ සඳහන් කර ඇත්තේ,අදාළ ඉඩමේ පෙර අයිතිකරු වන ජයසේකර වීරසේකර ඉකුත් 2021 අගෝස්තු මාසයේ දී මාසික කුලිය රුපියල් එක්ලක්ෂ පනස්දාහසක මුදලක් ලබා දී එහි පදිංචිව සිටි බවයි.

මෙහි වගඋත්තරුවන් වන කුමාර ධර්මසේන ඇතුළු ඔහුගේ නියෝජිතයන් ඉකුත් අගෝස්තු 16 වැනිදා අහසට වෙඩිතබා එහි සිටි ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ඉඩමට ඇතුළුවී ඇති බවත්, ඔහු මෙම ඉඩම මිලදී ගත් බවත් සඳහන් කර ඇති අතර, මේ සම්බන්ධව නාරාහේන්පිට පොලිසිය පැමිණ්ල කළ නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැමිණිලකරුට සමථයකට පත්වන ලෙස දැනුම්දී ඇති බව පැමිණිල්ලේ සදහන්ව තිබේ.

එමෙන්ම කොළඹ 05, ඉසිපතනාරාමයේ විහාරාධිපති ඇතුළු භාරකරුවන් පිරිසක් පැමිණ මෙම ඉඩම විහාරස්ථානයට අයත් වුවක් බවත්, නව බදු ගිවිසුමකට එකඟ නම් එහි තවදුරටත් පදිංචිව සිටිය හැකි බවත්, සදහන් කළ බවත්, ඉන්දිකා වන්නිආරච්චි නමැති අයකු වට්ස්අප් මාර්ගයෙන් අමතා ඉඩමෙන් ඉවත් වියයුතු බව දැනුම්දුන් බවත් පැමිණිල්ලේ වැඩිදුරට සදහන් වේ.

නිවසේ තිබූ භාණ්ඩ හා මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, ලැබ්‍රඩොර් වර්ගයේ බල්ලන් දෙදෙනකුත් රුපියල් මිලියනයක් වටිනා ට්‍රක් රථයකට සවිකළ හැකි ජංගම ට්‍රේලරයක්, සී.සී.ටිවී සවිකර ඇති මුරකුටිය සහ එහි දේපළ කොල්ලකා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් අධිකරණය මෙම නඩුවේ වගඋත්තරකරුවන් 12දෙනාට ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නොසීති නිකුත් කළේය.

42.31%
17.27%
32.76%