42.31%
17.27%
32.76%
October 3, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ බලතල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍ය සභාවේ උප සභාපති මහාචාර්ය ජයන්ත ජයවර්ධන ඉවත් කිරීම පිළිබඳව විධායක කමිටුව සාකච්ඡා කරන බවත්, අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවත්ය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය සතියේ මහාචාර්යවරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උප සභාපති ධුරයෙන් ඉවත් කරන ලද අතර එය “ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීම” අරමුණු කරගත් පියවරක් බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ බලතල පිළිබඳව මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් පවතින බව GMOA මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් ගත් තීරණයක් සම්බන්ධයෙන් දැනට නඩුවක් පවතින බැවින් වෛද්‍ය ආඥා පනතට අනුව ඇමැතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

2020 දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඉවත් කිරීමේ දී එවකට සෞඛ්‍ය ඇමැතිවරිය වූ නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි ද්වේශ සහගත සහ අත්තනෝමතික ලෙස ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනිව ක්‍රියා කළ බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව සහ ඇය විසින් නිකුත් කරන ලද අදාළ ලිපි අවලංගු කරමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද රිට් ආඥාව සම්බන්ධයෙන් පවතින බව ඔහු සඳහන් කරයි.

”මේ කාරණය සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙනවා. ඒ නිසා අපි විධායක සභාවේදී මේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි අවශ්‍ය තීරණ ගන්නවා. අවශ්‍ය නම්, මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට පවා කටයුතු කරනවා.” යැයි වෛද්‍ය චමිල් විජේසිංහ පවසා ඇත.

මහාචාර්ය ජයන්ත ජයවර්ධන ඉවත් කරන විට වෛද්‍ය සභාවේ මූලික ක්‍රියාදාම කමිටුවේ (PPC) සහ විගණන කමිටුවේ සභාපතිවරයා මෙන්ම කළමනාකරණ සහ ව්‍යවස්ථාදායක කමිටු සාමාජිකයෙක් ලෙසද ඔහු කටයුතු කරනු ලැබීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව, වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය (AMS), පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයක, මහාචාර්ය ජයවර්ධන ඉවත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළකර ඇත.

42.31%
17.27%
32.76%