42.31%
17.27%
32.76%
October 2, 2023

රටේ වර්තමාන ගැටලු සහගත තත්ත්වය හමුවේ ළමා අපයෝජන වර්ධනය වීමේ අවදානමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නිරීක්ෂණය වී ඇතැයි එහි සභාපති උදය කුමාර අමරසිංහ පවසයි.

2023 ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ (01) නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා මෙසේ සඳහන් කර ඇත.

ළමයින් පාසල් හැර යන තත්ත්වයක් උද්ගත වීම, අඛණ්ඩව පාසල් නොයැවීම් ඉහළ යෑම, මවුවරුන් විදේශගත වීම, පවුල් ආරවුල් සහ මවුපියන් දික්කසාද වීම වැනි ගැටලු ඉහළ යෑමේ ප්‍රවණතාව මත මෙම අවදානම මතුව ඇතැයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.

රටේ වර්තමානයේ උද්ගතව ඇති සමාජ, ආර්ථික තත්ත්වය හමුවේ ළමුන් පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ළමා ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන සියලු පාර්ශව මෙම සිදුවීම් ගැන සංවේදී වී අප්‍රමාදව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, ඔහු සඳහන් කර ඇත.

අන්තර්ජාල අධ්‍යාපනය මත පදනම්ව ළමුන් අන්තර්ජාලය වෙත වැඩිපුර යොමුවීම තුළ ඍණාත්මක ප්‍රතිඵල බහුලව වාර්තාවෙමින් පවතින අතර, එමඟින් සිදුවන ළමා අපයෝජනවල වර්ධනයක් දකින්නට ඇතැයි හෙතෙම පවසයි.

එම නිසා මෙම තත්ත්වය පිළිබඳව පාසල් පද්ධතිය දැඩි අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් “සියල්ලට වඩා දරුවන් වටී”, මැයෙන් 2023 ලෝක ළමා දින සැමරුම උත්කර්ෂවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු යොදා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%