October 1, 2023

ආන්දෝලනාත්මක ඩොලර් මිලියන 650ක කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතියේ සංවර්ධකයන් විසින් 2024 දී අවසන් වීමට නියමිත සංවර්ධන කාලය 2027 දක්වා දීර්ඝ කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි එම අධිකාරිය සඳහන් කරයි.

‘ක්‍රිෂ් චතුරශ්‍ර’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් ඇණහිට ඇති බවත්, අධිකාරිය සමඟ ඇතිකරගත් ගිවිසුම යටතේ සංවර්ධන කාලය ලබන වසරේ අවසන් වීමට නියමිත බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානආරච්චි පවසයි.

කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ සංවර්ධකයන් විසින් දැනටමත් එහි නිවාස ඒකක සැළකිව යුතු ප්‍රමාණයක් විකුණා ඇති බවත්, සංවර්ධන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු සඳහන් කර තිබේ.

“ගැටළුව වන්නේ ඔවුන් දැනටමත් එහි ඒකක විකුණා තිබීමයි. ඒ වගේ යම් යම් ගැටලු තිබෙනවා. ගිවිසුම යටතේ සංවර්ධන කාලය ලබන වසරේ අවසන් වන බැවින් එම කාලය දීර්ඝ කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ දේශීය සමාගම වන ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් කලම්බු ලිමිටඩ්, ක්‍රිෂ් ස්ක්වෙයාර් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 05කට අධිකාරිය සමඟ වසර 99කට බදු ගිවිසුමකට එළැඹ ඇත.

යෝජිත සංවර්ධනය මහා පරිමාණ මිශ්‍ර සංවර්ධනයක් වන අතර එය ඉහළ මට්ටමේ නේවාසික කුළුණු, වාණිජ සහ සිල්ලර අවකාශයන් සහ තරු හතේ හෝටලයකින් සමන්විත වේ.

ක්‍රිෂ් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විවිධ මූල්‍ය අක්‍රමිකතා වාර්තා වී ඇති අතර, දේශපාලනඥයන්ගේ නම්ද ඒ අතර වේ.