September 29, 2023

කලාපයේ හෝ වෙනත් ඕනෑම රටකට වඩා චීනය, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රටේ සංචාරයන් ලබාදෙන බව දැකගත හැකිය. පසුගිය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනාටම චීනයේ සංචාරය කිරීමට සහ එහි අන්තර්ජාතික මැදිහත්වීමේ කොටසක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන ලදී. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ වන විට චීනයට ගොස් ඇති අතර ඉතිරි පිරිසට පහසුකම් සැලසෙන තවත් වැඩසටහන් නුදුරු අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇත. මෙම වැඩසටහන්වලට මන්ත්‍රීවරුන් නොවන දේශපාලනඥයන් ද ඇතුළත් ය. කොවිඩ් -19 වසංගතය නොතිබුණේ නම්, බොහෝ දෙනෙක් දැනටමත් චීනයට ගොස් තිබෙන්නට ඉඩ තිබිණි.

චීනය ආර්ථික, තාක්‍ෂණික හා විද්‍යාත්මක ආශ්චර්යයන් සමඟ නැගී එන බලවතකු ලෙස, සිය අන්තරජාතික කටයුතු වේගවත් කර ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ සිය උපායමාර්ගික හැරීමට අනුව, චීනයේ අවශ්‍යතා සඳහා ප්‍රධාන වේ. එක් අංශයකින්, චීනයට තම හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන අතර, ‘සිය වරක් ඇසීමට වඩා වරක් දැකීම හොඳය’ යන හිතෝපදේශය අනුව කටයුතු කරන බව දැකගත හැකිය. චීනය යනු ලෝකය හමුවේ සිය පුරාජේරුව දැක්වීමට නිරායාසයෙන්ම නැඹුරු වූ රටකි. ප්‍රතිපත්ති සම්පාදනයේදීත් ක්‍රියාත්මක කිරීමේදීත් තීරණ ගැනීමේදීත් වඩාත්ම වැදගත් වන්නේ මන්ත්‍රීවරුන්ය. ඔවුන් සමඟ සම්බන්ධ වීම චීනයට වඩාත් ප්‍රතිඵලදායකය.

මෑත වසරවලදී, විශේෂයෙන් 2015 න් පසු, චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ණාවලිය පුරා සිය ව්‍යාප්තිය පුළුල් කර ඇත. බලයේ සිටින පක්‍ෂය සමඟ පමණක් ගනුදෙනු කරනවා වෙනුවට සියලුදෙනා සමඟ පක්‍ෂ විපක්ෂ භේදයකින් තොරව බැඳීම ප්‍රවර්ධනය කිරීමට චීනය දැන් පටන් ගෙන තිබේ. පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ප්‍රධාන වශයෙන් සබඳතා පැවැත්වීමට පුරුදුව සිටී. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ප්‍රධානියා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය. ඔහු මෑත කාලයේ චීනයට ගිය පාර්ලිමේන්තු නියෝජිතයන් ද මෙහෙයවීය.

2015ට පෙර මහින්ද රාජපක්ෂ පාලනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූ චීනය සමඟ සබඳතා වර්ධනය කළේය. ශ්‍රී ලංකාව චීනයේ අභිලාෂකාමී තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය සඳහා අත්සන් කළේ ඔහුගේ කාලයේදීය. චීන ජනාධිපති ෂී ජින් පිං 2014 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ වරාය නගරයට මුල්ගල තැබීය. එවැනි වැඩි දියුණු වූ සම්බන්ධතාවයක් හේතුවෙන්, විපක්ෂය චීනය විවේචනය කළේ ඔවුන් ‘රාජපක්ෂවරුන්ගේ අනුග්‍රාහකයකු’ ලෙස හඳුන්වා දෙමිනි.

දැන් චීනය ප්‍රධාන ධාරාවේ සියලුම පක්ෂ සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ඇත. ඇත්ත වශයෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගෙන යන පුණ්‍ය ව්‍යාපෘතියට චීන තානාපති කාර්යාලය මුදල් පරිත්‍යාග කරනු ලබයි.

චීන කොමියුන්ස්ට් පක්ෂයේ දෘෂ්ටි කෝණයෙන් එවැනි ප්‍රවේශයක් සිතාගත හැකිය. ශ්‍රී ලංකාව වැනි බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය එක් අවස්ථාවක නැවත බලයට පත් වනු ඇතැයි සිතිය හැකිය. දේශපාලන භේදය හරහා සියල්ලන් සමඟ ඒකාකාර සම්බන්ධතා ගොඩනගා ගැනීම එම සන්දර්භය සාර්ථක ප්‍රවේශයකි. එම නිසා චීනය බලයේ සිටින පක්ෂයට පමණක් තම සම්බන්ධය සීමා නොකර පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනා වෙත ළඟාවෙමින් සිටී.

(Daily Mirror)