42.31%
17.27%
32.76%
September 28, 2023

සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය G.L. පීරිස් එක්ව රජයේ දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ජාතියේ ආර්ථික අර්බුදයට යෝජිත විසඳුමක් ලෙස දේශීය ණය ප්‍රශස්තකරණයේ මුවාවෙන් සමාජ ආරක්ෂණ අරමුදල්, විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇතැයි මහාචාර්ය G.L. පීරිස් සඳහන් කර තිබේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ එහි සාමාජිකයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන ඇතුළු තවත් කිහිපදෙනෙක් මෙම පෙත්සම මගින් වගඋත්තරකරුවන් නම් කර ඇත.

මෙම ක්‍රියාවලියට අදාළව රජය විසින් පවත්වනු ලබන සාකච්ඡා බොහෝ රහස්‍යභාවයට යටත් වන බවත්, එයට සහභාගී වීමට සහ සහභාගී නොවීමට ගත් තීරණයේ බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද නියමයන් සහ කොන්දේසි සළකා බැලීම් පිළිබඳව පෙත්සම්කරුවන් නොදැන සිටි බවත්, පෙත්සමෙහි ඔවුන් සඳහන් කර තිබේ.

ඔවුන් දිවුරුම් ප්‍රකාශයක් හරහා ආර්ථික විද්‍යා ප්‍රවීණයෙක්ගේ අදහස් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශස්තකරණය සහ බදු වැඩිකිරීම්, EPF මත සහ දිගුකාලීනව අඩු වැටුප් ලබන වැඩකරන ජනතාව කෙරෙහි විනාශකාරී සෘණාත්මක බලපෑම් ඇති කරන බවයි.

සේවක අර්ථසාධක අරමුදලට දේශීය ණය ප්‍රශස්තකරණය සහ බදු ඉහළ දැමීමේ බලපෑම නිසි ලෙස තක්සේරු කිරීමට මහ බැංකුව අපොහොසත් වී ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

බැංකු කර්මාන්තයට, විශාල සමාගම්වලට සහ සුපිරි ධනවතුන්ට කිසිදු කැපකිරීමක් කිරීමට සිදු නොවන අතර, දේශීය ණය ප්‍රශස්තකරණය සහ බදු වැඩිකිරීම් යන දෙකම අඩු වැටුප් ලබන වැඩකරන ජනතාව කෙරෙහි අසමාන ලෙස ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව අදාළ ආර්ථික විශේෂඥයා සඳහන් කර තිබේ.

42.31%
17.27%
32.76%