42.31%
17.27%
32.76%
September 28, 2023

මෙම වසර අවසන් වන විට විදේශ සංචාරකයන් මිලියන 1.5ක් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ සඳහන් කර ඇත.

සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජයේ කැපවීම පිළිබඳව මෙන්ම ඔවුන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා කුලී රථ සංගම් පිහිටුවීම වැනි මුලපිරීම් ගැන ඇය සඳහන් කර තිබේ.

ඊයේ (27) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ‘ස්ථාවර දේශයකට සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරිය මෙසේ සඳහන් කර ඇත.

එමෙන්ම මෙරට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඇමැතිවරිය මෙහිදී සඳහන් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පවසා ඇත.

”අද අපි අන්තර්ජාතික සංචාරක දිනය සමරන අතර සංචාරක අමාත්‍යාංශය විසින් මෙම අවස්ථාව අලංකාර ලෙස අනුස්මරණය කිරීමට සංවිධානය කරලා තියෙනවා. මෙම සුවිශේෂී දිනයට සමගාමීව, ආරම්භයේ සිට ගල්කිස්ස හෝටලය සමඟ සිටි මේ වනවිට ප්‍රධාන සූපවේදී තනතුර දක්වා උසස් වී සිටින ආචාර්ය පබිලිස් සිල්වාගේ සුවිශේෂී සූපශාස්ත්‍ර ප්‍රවීණතාවය ඇගයීමට ලක් කෙරෙන ‘ජය ශ්‍රී ලංකා’ සම්මානය අපි අභිමානයෙන් හඳුන්වා දුන්නා. අපගේ ජාතියේ නිතර නොසලකා හරින ලද සූපවේදීන්ගේ වෘත්තියේ වැදගත්කම පිළිබඳව මෙම සම්මානය අවධාරණය කරනවා.

පෙර වසරට සාපේක්ෂව, මේ වසරේ මුල් මාස නවය තුළ සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනයක් අප දැක්කා. වසර අවසානය වන විට මෙම සංඛ්‍යාව මිලියන 1.5 දක්වා ඉහළ යනු ඇතැයි අපි ඉහළ බලාපොරොත්තු තබාගෙන සිටිනවා. ඒ අනුව තවත් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්වලට සැලසුම් සකස් කරලා තියෙනවා. යුරෝපයේ ශීත ඍතුව ආරම්භ වීමට තව මාස දෙකක් පමණක් ඉතිරිව ඇති හෙයින්, වසරේ අවසාන මාසවලදී සංචාරකයන්ගේ සැලකිය යුතු ගලා ඒමක් අපි අපේක්ෂා කරනවා. එම නිසා එංගලන්තය ඇතුළු යුරෝපීය රටවලින් සැලකිය යුතු සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීම අපේ අරමුණයි.

එමෙන්ම මැදපෙරදිග රටවල සංචාරකයන් පොළඹවා ගැනීම සඳහා අපි ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින අතර, ලබන මස මුල සිටම අපේක්ෂිත පැමිණීමක් ද ඇත. සංචාරකයන්ගේ පහසුව සහ තෘප්තිය සහතික කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් ඇල්ල, නුවරඑළිය, ගාල්ල සහ කොළඹ වැනි ජනප්‍රිය ගමනාන්තවල ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය රාත්‍රී කාලයේ පහසුකම් සැපයීමට අපි කැපවී සිටිනවා.

අපගේ ඉලක්කය වන්නේ අපේ ජාතියේ ආර්ථික වර්ධනයට දායක වීමට සංචාරකයන් දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කිරීමයි. එපමණක් නොව, අපගේ වගකීම සංචාරකයන්ගේ ආරක්ෂාව දක්වා ද විහිදේ. මෙයට පිළියම් යෙදීම සඳහා සංචාරකයන් ඉලක්ක කර ගනිමින් අසාධාරණ සහ නීති විරෝධී මිල නියම කිරීම් සිදුකරන දේශීය ව්‍යාපාරවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

මීට අමතරව, සංචාරකයන්ගේ පහසුව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා, නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා කුලී රථ සංගම් පිහිටුවීමේ ක්‍රියාවලියක අපි නිරතව සිටිනවා. සංචාරක අමාත්‍යාංශය මේ සඳහා පූර්ණ වශයෙන් කැපවී සිටින අතර එහි විශේෂ අවධානයට ලක්ව තියෙනවා.

රටේ විදේශ විනිමය සංචිතය ඉහළ නැංවීමේ අරමුණින් කංසා වගා කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඉදිරි සති දෙක ඇතුළත ඊට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අපේක්ෂා කරනවා. මෙම මුලපිරීම හුදෙක් රුපියල් වලින් ආදායමක් උපයා ගැනීම පමණක් නොව ඩොලර් වලින් ආදායම් උපදවන රාමුවක් ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, පුළුල් නියාමන රාමුවක් යටතේ ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ ක්‍රියාත්මක වන අධිකාරියක් පිහිටුවීම අපේක්ෂා කෙරේ.”

42.31%
17.27%
32.76%