September 26, 2023

මතභේදයට තුඩු දී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් 6 හට ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට අනුමැතිය ලබා දී නොමැති බව ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති අලි සබ්‍රි පවසයි.

ANI පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් විදේශ ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඉන්දීය ආරක්‍ෂාව වැදගත් සාධකයක් වන අතර නෞකාවට සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවද ඇමැතිවරයා පෙන්වාදී තිබේ.

Asian News International (ANI) නිව් යෝර්ක් සිට වාර්තා කර ඇති ආකාරයට, විදේශීය නෞකා සහ ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) ඇති බවත්, ඉන්දියාව ඇතුළු බොහෝ මිතුරන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබාගෙන ඇති බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහද පවසා තිබුණේ විදේශ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් (SOP) සකස් කර ඇති බවයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ එක්ව පර්යේෂණ සිදුකිරීමට චීන පර්යේෂණ නෞකාව ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ වී තිබේ.

එක්සත් ජනපද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවේදී ෂි යාන් 6 නෞකාවේ සංචාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.