42.31%
17.27%
32.76%
September 25, 2023

රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට දොස් පැවරීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැඩි විරෝධය පළකර ඇත.

රට මූල්‍ය බංකොලොත්භාවයට පත්වීමට හේතු සොයාබැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පසුගියදා කබ්රාල් විසින් කරන ලද ප්‍රකාශයන් පිළිබඳව මන්ත්‍රීවරයා මෙලෙස සිය විරෝධය පළකර තිබේ.

ඊයේ ජනමාධ්‍යවේදීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියාසිටියේ මෙම චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස තම ජීවිතයට සහ තම පවුලේ ආරක්ෂාවට තර්ජන ඇති බව පවසමින් පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට සිදුවීම කනගාටුවට කරුණක් බවයි.

“මේ සිදුවීම කිසිසේත් සිදු නොවිය යුත්තක්,” යනුවෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ලේකම්වරයාට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව අවධාරණය කළේය.

“දේශපාලනඥයන් විසින් විනාශ කරන ලද රටක කිසිම අවස්ථාවක මහින්ද සිරිවර්ධන හෝ වෙනත් කිසිදු නිලධාරියකු වෙත වරද පැටවිය යුතු නැත. අපි මේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා,” ඔහු අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා යොදා ගනිමින් අජිත් නිවාඩ් කබ්රාල් සිය වරද නිලධාරීන් වෙත පැවරීමට උත්සාහ කරන බවයි.

“මේක අසාධාරණයි. පාර්ලිමේන්තු කාරක සභාවක් යොදාගෙන මේ අර්බුදයට දායක වූ නායකයන්ට සුදුහුණු ගාන්නයි මේ හදන්නේ. ගෝඨාභය රාජපක්ෂගේ අනර්ථකාරී බදු ප්‍රතිපත්ති ගැනවත් පොහොර තහනම ගැනවත් සඳහනක් නැහැ. ඒ වෙනුවට ඔවුන් මහින්ද සිරිවර්ධනට සහ නන්දලාල් වීරසිංහට කුමන්ත්‍රණ කරන බවට චෝදනා කරනවා,” ඔහු කියා සිටියේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රකාශයන් හේතුවෙන් තමාට ජිවිත තර්ජන පවතින බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිලි කර තිබිණි.

42.31%
17.27%
32.76%