42.31%
17.27%
32.76%
September 25, 2023

මේ වනවිට පිංකැටවලට සීල් තබා ඇති නවගමුව විහාරස්ථානයේ පමණක් නොව තවත් පූජනීය ස්ථාන රැසක ප්‍රකෝටි ගණන් මුදල් හා රන් ආභරණ වංචා සිදුවන බැවින්, කෝටි ගණනින් පඬුරු ලැබෙන සියලුම විහාරස්ථාන හා දේවාලවල පිංකැටවලට වහාම සීල් තැබිය යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.

මෙලෙස කෝටි ගණන් පඬුරු ලැබෙන ස්ථානවලින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ගිනුම් වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒ සියලුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක් බවත්, උන්වහන්සේ කියති.

මීට පෙර සංස්කෘතික ඇමැතිවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් කටයුතු කරන සමයේ පිංකැට සීල් තැබීමට කටයුතු කළ නමුත් එයට සියලුදෙනාම විරුද්ධ වූ බවත්, තමන් පමණක් එයට එකඟ වූ බවත්, රාහුල හිමියෝ සඳහන් කරති.

පිංකැටවලට සීල් තියනවාට විරුද්ධ වන්නේ හොරු තක්කඩි බව උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම අද වනවිට කෝටි ගණන් පඬුරු වැටෙන ඇතැම් විහාරස්ථාන පාලනය කරන්නේ කාන්තාවන් එහෙමත් නැතිනම් පන්සලේ ‘ඩ්‍රයිවර්’ බව ද රාහුල හිමියෝ සඳහන් කරති.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කර ඇත.

”පිංකැටවලට කොපමණ මුදලක් වැටෙනවාද කියලා මෙන්ම ඒ මුදල්වලට සිදුවන්නේ මොකක්ද කියලවත් කවුරුවත් දන්නේ නැහැ. පඬුරු එකතුකරලා ඒ සල්ලිවලින් කාන්තාවන්ට වාහන අරන් දීපු තැන් ලංකාවේ තියනව ඒව ප්‍රසිද්ධ රහස්. මට නම් වශයෙන් කියන්න පුළුවන්. ඉහළම තැන්වල නම් පවා මට කියන්න පුළුවන්. ඒ දවස්වලම මම මාධ්‍ය හමුවක් තියල කිව්ව දේ තේරුම්ගත්ත බෞද්ධ දෙපාර්තමේන්තුව කැටවලට සීල් තැබීමට තීරණය කිරීම වටිනවා.

මම හැමදාමත් කියනවා වගේ මේ වගේ පඬුරු වැටෙන ස්ථානවලට අනිවාර්යයෙන්ම සීල් තැබිය යුතුයි. ඒ මුදල් මාසිකව ගණනයකර පොදු අරමුදලකට දැමිය යුතුයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට වඩා විගණකාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමුවිය යුතුයි. හැම පිං කැටයක්ම විගණකාධිපතිවරයාගේ විගණනයට ලක්වෙනවානම් ඔය වංචා හොරකම් ගසා කෑම් වළක්වා ගන්න පුළුවන්.

අනෙක් කාරණය තමයි මොනතරම් සමහර දේවාල පන්සල්වලට රත්තරන් ආභරණ පුජාකරලා තියෙනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒවා කොහේවත් සටහන් වෙලත් නැහැ. ඒ රන් ආභරණ දේවාලෙවත් පන්සලෙවත් නැහැ. එහෙමනම් ඒවාට මොනවාද වුණේ කියලා හොයලා බලන්න ඔිනේ. අපේ රටේ බොහෝ දේවාල හොර ගුහාවල්. කරුමේ කියන්නේ දෙයියන්ගේ දේත් මුං දෙයියන්ටත් හොරෙන් හොරාකන එකයි.

මේ වගේ කෝටි ගණන් වංචා සිදුකරන ස්ථානවල ප්‍රධානීන්ට එරෙහිව අලුතින් සම්මත කළ දූෂණ විරෝධි පනත අනුව නිසි දඬුවම්දීමට පියවර ගතයුුුතුයි.”

42.31%
17.27%
32.76%