42.31%
17.27%
32.76%
September 22, 2023

මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 66ක් දුම්රිය මාර්ග සංඥා පද්ධති සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම සහ පරීක්ෂා කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව ඊයේ( සැප් 21) අත්සන් කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉදිරියේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ IRCON Ltd සමාගම අතර ගිවිසුම ඊයේ අත්සන් කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් , ශ්‍රී ලංකා මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සහ IRCON Ltd හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 14.90 ක වියදමින් ඇමරිකානු ඩොලර් මිලියන 318 ක ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ගමනාගමනය පහසු කිරීම, රටේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සහ දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන සංඥා පද්ධතියේ වැදගත්කම අවධාරණය කළ අතර මෙම ව්‍යාපෘතිය සඳහා වන ණය යෝජනා ක්‍රමය සංකේතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටීමට ඉන්දීය රජය සහ ඉන්දීය ජනතාව දක්වන නොනිමි ආශාව බව අවධාරණය කර ඇත.

පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් සහාය දැක්වීම පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සහ ඉන්දීය රජයට ඇමැති බන්දුල ගුණවර්ධන මෙහිදී ස්තුතිය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවේ දුම්රිය ව්‍යාපෘති සඳහා මෑත කාලයේ ණය යෝජනා ක්‍රමයකින් සහාය ලැබී ඇත්තේ ඉන්දියාවෙන් පමණක් බව ද පෙන්වාදී තිබේ.

මේ දක්වා ලංකාව තුළ ඉන්දියානු ණය යෝජනා ක්‍රම 05ක් යටතේ, දුම්රිය අංශයේ ඇමෙරිකානු බිලියන 01 කට වැඩි ව්‍යාපෘති නිම කර ඇත.

42.31%
17.27%
32.76%