September 21, 2023

කොළඹ කොටස් හුවමාරුව “ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට නව ප්‍රවේශයක්” යන තේමාව යටතේ සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ව්‍යවසායක හමුවක් අනුරාධපුරයේදී පවත්වා තිබේ.

ප්‍රදේශයේ කෘෂි කාර්මික, සත්ව නිෂ්පාදන , බලශක්ති සහ සංචාරක හෝටල්  සහ අනෙකුත් ව්‍යාපාරවල නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  ඉලක්ක කරගනිමින් පවත්වන ලද මෙම හමුවේ පරමාර්ථය වූයේ, කොළඹ කොටස් හුවමාරුවේ එම්පවර්   පුවරුවේ සහ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථා පිලිබඳ දැනුවත් කිරීමයි.

මෙම අවස්ථාවට ව්‍යාපාර හිමිකරුවන්  57 ක පමණ පිරිසක් සහභාගී විය.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත කිරීම තුළින් සී.අයි.සී හෝල්ඩිංග්ස් පි.ල්.සී ආයතනය අත්විඳි ප්‍රතිලාභ ප්‍රකාශ කරමින්, සී.අයි.සී හෝල්ඩිංග්ස් පි.ල්.සී ආයතනයේ  සෞඛ්‍ය සේවා නියෝජිතායතන සහ නිෂ්පාදන අංශයේ සමූහ උපාය මාර්ග නිලධාරී/ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ  විරාජ් මනතුංග ප්‍රකාශ කළේ, S&P20 දර්ශකය නියෝජනය කරන ලැයිස්තුගත ආයතනයක් ලෙස පරිණාමය වීමට සහ  ආයතනික පාලන මාර්ගෝපදේශ පිළිපදිමින් ප්‍රාග්ධනය රැස් කරගැනීමටත් CSEහි   ලැයිස්තුගත  වීම හේතු වූ  බවයි.

සීමාසහිත NDB  ආයෝජන බැංකුවේ සහකාර උප සභාපති සුලක්ෂණ හෙට්ටිආරච්චි, “CSE හි ලැයිස්තුගත කිරීමේ ප්‍රතිලාභ සහ වැරදි වැටහීම්” පහදා දෙමින් සැසියක් පවත්වන ලද අතර, එහිදී ඔහු ආයෝජන බැංකුවක් සමාගමක් වෙනුවෙන් සමස්ත IPO ක්‍රියාවලිය කළමනාකරණය කරන බවත්, එමඟින් සමාගමට එහි දිගුකාලීන ඉලක්ක, වර්ධන සැලසුම්, කොටස් මිශ්‍රණයට ප්‍රශස්ත ණය යනාදිය සදහා අවධානය යොමු කොට, ඒවා සාර්ථක කර ගැනීමට හැකි වන බවත් ප්‍රකාශ කළේය.