42.31%
17.27%
32.76%
September 20, 2023

යෝජිත නව නිතිය යටතේ සමාජ මාධ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා වන අතර, ඔහුට ඕනෑම වේලාවක සාමාජිකයන් පත්කිරීමටත් ඉවත් කිරීමටත් හැකි බවත්, එම නිසා කොමිසම ජනාධිපතිවරයාගේ රූකඩයක් බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

එමෙන්ම සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීම මර්දනය කිරීම සඳහා සැප්තැම්බර් 18 දින ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුව ජනතාවට කෙතරම් බියවී සිටින්නේද යන්න ප්‍රදර්ශනය කරවන්නක් බවද ඔහු සඳහන් කරයි.

එහිදී ඔහු මෙසේද පවසා ඇත.

”සමාජ මාධ්‍ය නියාමන පනතට අනුව සියලු මාර්ගගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය පිලිබඳ තීරණ ගැනීමට බලය සහිත කොමිසමක් පිහිටුවනු ලබනවා. ඒ කොමිසමේ සාමාජිකයන් පස්දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා. ඒ අයව ඕන වෙලාවක අස්කරන්නත් ඔහුට පුළුවන්. ඒ කොමිසමේ සභාපති පත්කරන්නේත් ජනාධිපතිවරයා. ඒ කියන්නේ මේ කොමිසම ජනාධිපතිවරයාගේ රූකඩයක්. ඒ වගේම පනතට අනුව කොමිසමේ රැස්වීම් වල ඝණපූර්ණය තුන්දෙනයි. ඒකෙන් දෙන්නෙක්ට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත්කරන දෙන්නෙක්ට පුළුවන් සමාජ මාධ්‍ය ගැන තීරණ ගන්න.

මේ පනතේ ප්‍රධාන වචනය තමයි තහනම් ප්‍රකාශන. මොනවද මේ තහනම් ප්‍රකාශ? ඒ විස්තරය කෙටුම්පතේ 12,13,14 වගන්ති වල සිට 23 වගන්තිය දක්වා තියෙනවා. මේ කියන විදියට අසත්‍ය ප්‍රකාශ තහනම් වෙනවා. යම් ප්‍රකාශයක් සත්‍යයද අසත්‍යයද කියලා තීරණය කරන්නේ ජනාධිපතිවරයාගේ රූකඩ කොමිසම. මොකද ඒ ගොල්ලෝ දෙවියන් වහන්සේගේ දේව දූතයොද?

අනෙක මේකේ තියෙනවා ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට හානිකර ප්‍රකාශ තහනම් කියලා. මෙපමණ කලක් ජාතික ආරක්ෂාවට හානිකර වුණේ පාස්කු ප්‍රහාරය දැනගෙනත් ඒක වෙන්න ඉඩ ඇරපු දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් වගේ කොටස්ද, නැතිනම් සමාජ මාධ්‍ය වල ඒ ගැන ලියපු තරුණ තරුණියොද? මහජන සෞඛ්‍යයට ලොකුම තර්ජනය බාල බෙහෙත් ගෙන්වා රෝගීන් මරණ, ඖෂධ ගැන දත්ත මකන මාෆියාවද? නැතිනම් ඒ ගැන ෆේස්බුක් එකේ ලියන අයද? මේකේ තියෙනවා රජයට එරෙහිව කැරලි ගැසීමට තුඩුදෙන ප්‍රකාශන තහනම් කියලා. ඒ ප්‍රකාශය මත පදනම්ව කැරැල්ලක් ඇති වුණොත් අවුරුදු 05ක් හිරේ. කැරැල්ලක් ඇති නොවුණත් අවුරුදු 03ක් හිරේ. මේවා පුදුම විහිළු. මේ කියන විදියට ආණ්ඩුව කරන කිසිදෙයක් ගැන ලියන්න කියන්න බෑ. ඇයි මේ ගොල්ලෝ කරන දේවල් ඇහුවම කැරලි ගහන්න හිතෙනවනේ. රජයට එරෙහි ප්‍රකෝපකාරී පෙළඹවීම් එන ඒවත් ලියන්න බෑලු. ප්‍රකෝපකාරී පෙළඹවීම් එන ඒවනේ මේ ගොල්ලෝ කරන්නේ. ඒකට මොකද කරන්නේ?

අපි මේ ඔක්කොම සංයුක්තව බලන්න ඕන. එහෙන් පාරට බැහැලා බෝඩ් එකක්වත් අල්ලාගෙන ඉන්න බැරිවෙන විදියට ත්‍රස්ත විරෝධී පනත් ගේනවා. ඒ මදිවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කට වහන්න විකාශන නියාමන කොමිෂන් පනත් ගේනවා. මේ හදන්නේ සමාජ මාධ්‍යයක හෝ අදහස් දක්වන අයව දඩයම් කරන්න පනතක් ගේන්න. ඒ අතර පසුගිය සැප්තැම්බර් 05 වැනිදා ආයෝජන බැංකු කණ්ඩායමක සාකච්ඡා සභාවකදී හිටපු මහ බැංකු අධිපති, රනිල්ගේ න්‍යායාචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියලා තියෙනවා මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න නම් මැතිවරණ තියන්න එපා කියලා. මේ ගොල්ලෝ හදන්නේ මැතිවරණ නොතියා බලෙන් පාලනය කරන්න. එතකොට ජනතාව නැගිටලා අරගල කරලා මේ ගොල්ලන්ව කණෙන් අල්ලලා එලියට දායි කියලා බයේ මේ නීති ගේන්නේ. මේවා පාර්ලිමේන්තුවෙන් පරදවන්න බෑ. පාර්ලිමේන්තුවට පිටින් ජනතා බලයක් හදලා විතරයි මේ මර්දන නීති පරදවන්න පුළුවන්. ඒ සඳහා එක්වෙමු. පුළුල් මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරමු.”

42.31%
17.27%
32.76%