42.31%
17.27%
32.76%
September 16, 2023

කියුබාවේ හවානා නුවරදී ඊයේ (15) පැවැත්වුණු G77 රාජ්‍ය නායකයන්ගේ සහ රජයේ නායක සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ දේශනයක් පැවැත්වීය.

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින ජාතීන් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජයගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවල තීරණාත්මක කාර්යභාරය ජනාධිපති වික්‍රමසිංහ සිය කතාවේදී අවධාරණය කළේය.

සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් මහතාට ප්‍රශංසා කරමින්, විවිධ බහුපාර්ශ්වික සංසද තුළ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ගේ අවශ්‍යතාවන් සහ අභිලාෂයන් වෙනුවෙන් කියුබාවේ ඓතිහාසික භූමිකාව කැපවීමද ජනාධිපති වික්‍රමසිංහ පෙන්වාදුන්නේය.

තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීමට බාධාකරන සහ ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද ඇතුළුව ගෝලීය දකුණ මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග පිළිබඳවද ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“15 වැනි සියවසේ දී වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ සමුද්‍රීය නැව් වැනි අංශයන් මගින් යුරෝපය අත්කරගත් දියුණුව නිසා ඔවුන්ට ලෝකයේ අනෙකුත් රටවල් යටත් කර ගැනීමට හැකි වූණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය තුළ අද වන විට තාක්‍ෂණික වශයෙන් විවිධ අසමතුලිතතා ඇති වී තිබෙනවා.

අධික පිරිවැය නිසා ඇතැම් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට ප්‍රවේශවීම සඳහා ඇති සීමාව, ප්‍රමාණවත් ඩිජිටල් කුසලතා සහ යටිතල පහසුකම් නොමැතිවීම, සංස්කෘතිකමය හා ආයතනිකමය වශයෙන් පවතින බාධා සහ මූල්‍යමය බාධා වැනි අභියෝගකාරී තත්ත්වයන් එවැනි අසමතුලිතතා ඇතිකිරීමට හේතුවී ඇති වී බව අපගේ විශ්වාසයයි.

21 වැනි සියවසේ මෙම නව තාක්‍ෂණික අසමතුලිතතාවය වඩාත් ඉස්මතුව පවතිනවා. එම පරතරය පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය සහ Big Data, Internet of Things (IoT), කෘත්‍රිම බුද්ධිය (AI), Blockchain, ජෛව තාක්ෂණවේදය (Biotechnology) සහ ජාන අනුක්‍රමණය (Genome Sequencing) වැනි නව තාක්‍ෂණ ක්‍රමවේද වෙත අප කඩිනමින් යොමු විය යුතුයි.

සංවර්ධන ක්‍රමවේදයන් හඹායාමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනයන් සිදු කිරීමටත්, එම ක්‍රියාවලීන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා අත්‍යාවශ්‍ය දැනුමෙන් හා තාක්‍ෂණයෙන් පරිපූර්ණ උගත් ශ්‍රම බලකායක් සිටිය යුතුයි.

දැනට දුර්වල ක්‍රියාකාරීත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන පිළිබඳ ඇගයීමට ලක්කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් තාක්ෂණික සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්ව විද්‍යාල හතරක් ඇතිකිරීමට ද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබෙනවා. එසේම, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය එහි පස්වැන්න ලෙස ස්ථාපනය කිරීමට ද අප අපේක්ෂා කරනවා.

“G77 සහ චීනය” කණ්ඩායම තුළ ඵලදායි සහයෝගීතා යාන්ත්‍රණයක් අවශ්‍යව තිබෙනවා. ගෝලීය දකුණ සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ එකමුතුව (COSTIS) පුනර්ජීවනය කිරීම සඳහා එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වා ගෙන යාම වෙනුවෙන් දශකයක් පුරා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 01%ක් වෙන් කිරීම මගින් සාමාජික රටවල් යම් කැපකිරීමක් සිදු කළ යුතු බව මම යෝජනා කිරීමට කැමතියි.

යුරෝපා සංගමයේ තාක්ෂණ සහ නවෝත්පාදන අංශය අනුගමනය කරමින් ඩිජිටල්කරණය, සෞඛ්‍ය, වෛද්‍ය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්තිය ආදී ක්ෂේත්‍රවල තාක්ෂණික වේදිකා නිර්මාණය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.

ගෝලීය දකුණේ සිට උතුරට සිදුවන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බලකාය අහිමි වීම දකුණේ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්හි සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා.”

42.31%
17.27%
32.76%