42.31%
17.27%
32.76%
September 14, 2023

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය යන ආයතන දෙකම වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමටත්, ඒ යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාල, පුද්ගලික විශ්ව විද්‍යාල සහ වෘත්තීය විශ්ව විද්‍යාල ලෙස ඒකක තුනක් ස්ථාපිත කිරීමටත් රජයට යෝජනා කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා නිර්දේශ ලබාදීමේ කාර්ය්‍යය භාර පාර්ලිමේන්තු විශේෂ කමිටුවේ සභාපතිවරයා ද වන ජනාධිපති නීතිඥ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තරඟකාරීත්වයේ පීඩනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණෙන දරුවන්ගෙන් බහුතරයක් මානසික ආතතියට පත්ව ඇති බව ද ඔහු මෙහිදී පැවසීය.

විශ්ව විද්‍යාල සඳහා ලබා දෙන අවධානය මුල් ළමාවිය සංවර්ධනයට ද යොමු කළ යුතු බව සදහන් කරන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මුල් ළමාවියේ දී ශක්තිමත් පදනමක් සහතික කිරීම ඉතා වැදගත් වන බවයි.

වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබා දෙන ආයතනවලට විශ්වවිද්‍යාල හා සමාන පිළිගැනීමක් ලැබිය යුතු බවට ද ඔහු මෙහිදී යෝජනා කර තිබේ.

“පෞද්ගලික අංශයට නිදහස් අධ්‍යාපනය ව්‍යාප්ත කළද, එහි අධීක්‍ෂණය සඳහා පුළුල් ක්‍රමවේදයක් අප තවම ස්ථාපිත කර නොමැත. අපේ රටේ තරුණ ප්‍රජාව වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමෙන් අධෛර්යමත් වන බව දැකීමෙන් බලාපොරොත්තු සුන්වෙනවා.වෙනත් රටවල වෘත්තීය පුහුණුව බොහෝ විට උපාධි ලබා ගැනීමට හේතු වේ.” යනුවෙන් අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව විභාග අවසන් වී ප්‍රතිඵල නිකුත් වන තුරු සිසුන් මාස ගණන් නිකරුණේ තැබීමේ ක්‍රියාවලිය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බවත්, වටිනා කාලය නාස්ති කරන අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

42.31%
17.27%
32.76%