September 14, 2023

ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර නොගෙවීම නිසා ශ්‍රී ලංකාවට නඩු පවරා ඇති හැමිල්ටන් සංචිත බැංකුව සහ තමා අතර රහසිගත සම්බන්ධතා පවතින බවට එක්තරා මන්ත්‍රීවරයකු විසින් මෑතකදී කරන ලද චෝදනාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිකුත් කර ඇති විශේෂ නිවේදනයක සඳහන් වේ.

මහ බැංකු අධිපතිධූරය දැරූ කාලයේ තමා විසින් මහ බැංකු නිලධාරීන්ට, අයෝජකයන්ට මෙන්ම විදේශ අයෝජන ආයතනවල නිලධාරීන්ට ගෞරවයෙන් සළකන ලද අතර, ඒ අනුව එම නිලධාරීන්ට මහ බැංකුව හෝ මා විසින් විශේෂ සැළකිලි හෝ අභ්‍යන්තර තොරතුරු ලබා දී නැති බව කබ්රාල් පවසයි.

රටේ ස්වෛරී ණය හෝ එහි නිශ්චිත කොටසක් පියවීම හෝ නොපියවීම තනි පුද්ගලයකුට ඒකපාර්ශවිකව තීරණය කළ හැකි කාරණයක් නොවන බවත් , එසේ වුවත් 2022 ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500 ක පරිණත බැදුම්කර පියවීම මහ බැංකු අධිපතිවරයා ලෙස තමා තනි අභිමතයට සිදුවූ බවට ඇතමුන් අභූත චෝදනා එල්ලකර ඇති බවත් , ද්වේශ සහගත එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද කබ්රාල් සදහන් කරයි.

එහෙත් මෙහිදී පුදුමයට කරුණ වන්නේ 2022 අප්‍රේල් 12වැනිදා ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීම නිසා ආර්ථිකයට සිදු වී ඇති දැවැන්ත හානිය විදහා දැක්වීමට එම මන්ත්‍රීවරුන් සහ අනෙකුත් අය විශාල මැලිකමක් දක්වන අතරම, බැදුම්කර සහ අනෙකුත් විදේශ විනිමය ණය 2022 මාර්තු අවසන් වන තෙක්ම ඉතා නිවරැදිව පියවීමට කටයුතු සම්පාදනය කිරීමෙන් එවැනි ව්‍යසනකාරී ප්‍රතිවිපාක වළක්වා ගැනීමට කටයුතු කළ අයට දොස් පැවරීමට නම් ඔවුන් ඉතා කඩිසර වීම බවද හෙතෙම පෙන්වාදෙයි.

2022 අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත්කරන ලද අනවසර ස්වෛරී ණය පැහැරහැරීමේ නිවේදනය පිළීබඳ කඩිනම් සහ පුළුල් විමර්ශනයක් දියත් කරන ලෙසට මීට වසරකටත් පෙර 2022 සැප්තැම්බර් 05 වන දින තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇති බවද ඔහු පවසයි.

තවද 2007 සිට 2022 දක්වා බැඳුම්කර නිකුතු සහ ඒවායේ පියවීම් සම්බන්ධයෙන් ඕනෑම විමර්ශනයක් දියත් කරන්නේ නම් තමා සතුටුවන අතර, ඒ වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.