42.31%
17.27%
32.76%
September 13, 2023

මුල්ලේරියාවේ, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ඉන්ධන පිරවුම්පොළ වසර දහයකට වඩා පැරණිය.

මේ පැරණි ඉන්ධන පිරවුම්පොළට මීටර් හාරසීයක පමණ දුරකින් අලුත් ව්‍යාපාරිකයකුට ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලනාධිකාරිය අවසර දුන්නේ මෑතකදීය.

ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමේදී, අදාළ පිරවුම්හල් අතර සම්මත දුරක් පැවැතිය යුතු වුවත්, අඹතලේ පැරණි ඉන්ධනහල අසලම තවත් ඉන්ධන පිරවුම්පොළක් ඉදිකිරීමට ඉඩ ලබාදුන්නේ කුමන පදනමකින්ද?

අලුත් ඉන්ධනහල් ව්‍යපාරිකයාට දේශපාලන හයිය, රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ඥාතියකු වීම සහ තම පුතණුවන් තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු වීම යන සියලුම වරප්‍රසාද පවතී.

එමනිසා හෙතෙම ඉන්ධනහල් ඉදිකිරීමේදී පවතින සියලු නිර්ණායක අඩංගු කොළ ඉරාදමා කටයුතු කළේය.

එලෙස ඉන්ධනහල ඉදිකරද්දී, ඊට අවසර ලබාදුන් සංස්ථා පාලනාධිකාරිය මීයට පිම්බා සේ නිහඩ වූයේ දේශපාලන හයිය සියල්ලට ඉහළින් වැජඹෙන නිසාය.

රුපියල් කෝටි දහයක් ,පහොළොවක් ඇතැම්විට කෝටි විස්සක පමණ මුදලක් ආයෝජනය කර වසර දහයකට අධික කාලයක් ඉන්ධනහල කරගෙන ගිය පැරණි ව්‍යාපාරිකයාට ආණ්ඩුවේ ප්‍රබලයන් හා සංස්ථා නිලධාරින් ඉදිරිපිට ගොළුවනවා හැර වෙනත් කරන්නට දෙයක් ඉතිරි වී තිබුණේ නැත.

එනිසාම මෙකී පැරණි ඉන්ධන පිරවුම්හල අයිති ව්‍යාපාරිකයා නීතියේ පිහිට පැතීය.

අවසානයේ අභියාචනාධිකරණයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූ පසු දේශපාලකයන්ගේ හයිය බිමට සමතලා වී ගියේ අලුත් ව්‍යාපාරිකයාගේ පමණක්ම නොව තෙල් සංස්ථාවේ සභාපති ඇතුලු අධ්‍යක්ෂක මංඩළයේද ඉහමොළ රත්කර දමමිනි.

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අලුතින් ඉදිකළ අඹතලේ ඉන්ධන පිරවුම්පොළ ඉන්ධන ලබාදීම නවතා දමා වසාදැමීමට තෙල් සංස්ථා පාලනාධිකාරියට සිදුවිය.

අභියාචනාධිකරණ තීන්දුවෙන් ඇඹරී ගිය අලුත් ව්‍යාපාරිකයා පමණක් නොව, දූෂිත දේශපාලකයන්ද, සංස්ථා බලධාරීන්ද කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව බලා සිටිති.

දැන් සංස්ථා බලධාරීන් හා දේශපාලන අධිකාරිය මෙම තීන්දුව මගහැරීම සදහා කෝඳුරු තෙල් සොයමින් සිටී.

දැන් මෙරටට විදෙස් තෙල් සමාගම් කිහිපයක් පැමිණ සිටී.

දැනටමත් චීන සයිනොපෙක් සමාගමට මෙරට ඉන්ධනහල් 150ක් ලබාදී ඇත.

තවත් සමාගම් 02ක් එන්න ඔන්න මෙන්නය.

ඔවුනටද ඉන්ධනහල් 150 බැගින් ලබාදීමට නියමිතය.

ඊට අමතරව රටපුරා තැන්තැන්වල හිතුමතේ පෙට්ටි කඩ ගසන්නා සේ ඉන්ධනහල් දැමීමට යෝජිතය.

බලය ඇති දේශපාලඥයන්ද ඔවුන්ගේ බැලයන්ද මේ අල්ලපනැල්ලේ ඉන්ධනහල් දැමීමට පොරකන්නට පටන්ගෙන ඇත.

ඒවාට ව්‍යාපාරිකයන්ද හසුවන්නේ මුදල් මත සියල්ල තීරණය වන වටපිටාව නිසාය.

මේ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව තීරණාත්මකය.ජේ.ආර් ජනාධිපතිවරයා වරක් කීවේ විධායක ජනාධිපතිට කර නොහැක්කේ ගැහැණියෙක් පිරිමියක් කිරීමත්,පිරිමියෙක් ගැහැණියක් කිරීමත් පමණක් බවය. එහෙත් දේශපාලකයන් හා ජාවාරම්කරුවන්ගේ ගැටවලට හසුවී මෙවැනි ව්‍යාපාරවලට අත තබන්නට පෙර නීතිය තිබෙන්නේ කොතනැදයි සොයාබැලිය යුතු නොවේද?

ඉහත සදහන් වන්නේ අභියාචනාධිකරණයේදි විභාග කල CA/writ 64/ 2021 දරන නඩුවේ 05/09/2023 දින ප්‍රකාශයට පත්කළ තීන්දු ප්‍රකාශය මත සකසන වාර්තාවකි.

 

42.31%
17.27%
32.76%