September 13, 2023

2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඉන්දියාව සමග අවසන් සටනට පිවිසෙන්නේ පාකිස්ථානයද, ශ්‍රී ලංකාවද යන්න කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ හෙට පස්වරු 03ට ආරම්භ වන තරගයේදී දැකගත හැකිවනු ඇත.

එනම්, තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම අනිවාර්යයෙන් ඉන්දියාව සමග අවසන් මහා තරගයේදී ලබන 17වැනිදා තරග වැදීමට සුදුසුකම් ලබාගන්නා බැවිනි.

බංග්ලාදේශ කණ්ඩායමට මෙි වන විටත් සුපිරි 04 වටයේ පළමු තරග දෙකම පරාජයවීම හේතුවෙන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නොමැත.

කෙසේ වෙතත්, ඔවුන් ලබන 15වැනිදා ඉන්දියාව සමග සුපිරි 04 ව⁣ටයේ අවසන් තරගයට මුහුණ දෙනු ඇත.

අවසන් මහා තරගයට ඉන්දියාව සමග තරගවදින පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගයට යම් විදියකින් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවෙයි.

එහිදි පාකිස්ථානයට වඩා ශුද්ධ දළ ලකුණු වේගයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන හෙයින්, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතී.

පාකිස්ථානය හෙට තරගයට පිවිසෙන්නේ අබාධයකට ලක්වීම හේතුවෙන් සිය ප්‍රධානතම වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා නොමැතිවයි.

ඔහු වෙනුවට පන්දුවාර විස්ස තරග 04කට ක්‍රීඩාකර ඇති සමාන් ඛාන් කැදවා තිබේ.

එමෙන්ම, ඉන්දියාව සමග තරගයේදී අබාධයකට ලක්වූ හැරිස් රාවුෆ් යහපත් ශාරීරික තත්වයකින් පසුවුවද, ශ්‍රී ලංකාව සමග හෙට (14) තරගයට ඔහු ගේ සහභාගිත්වය පිළිබඳ තහවුරු කර  නැත.