September 12, 2023

දුනිත් වෙල්ලාලගේ ගේ සහ චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හමුවේ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එ⁣රෙහිව ඉන්දීය ඉනිම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 213කට සීමාවිය.

වෙිගවත් ආරම්භයක් ලබාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා 51ක් වන අර්ධ ශතකය රැස්කළේ ලොව වේගවත්ම එක්දින ලකුණු 10,000 පසුකළ දෙවැනි ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

කෙසේ වෙතත් රෝහිත් ෂර්මා පමණක් පිටිය තුළ ස්ථාවර සිටියදී  කඩුලු දඩයම දුනිත් වෙල්ලාලගේ ආරම්භ කළේ ලකුණු 19ක් ලබා  සිටි සුබ්මන් ගිල් ඉන්දීය ඉනිමේ පළමු  කඩුල්ල ලෙස ක්‍රීඩාගාරයට යවමිනි.

අනතුරුව පිටිය⁣ට පිවිසි පාකිස්ථාන තරගයේදී ශතකයක් රැස්කළ විරාට් කෝලිව ලකුණ 03කට දවාගැනීම⁣ට සමත්වූ වේල්ලාලගේ, ලකුණු 53ක් ලබා සිටි රෝහිත් ෂර්මාගේ කඩුල්ලද බිඳදමනු ලැබීය.

අනතුරුව යම් තරමකට ඉන්දීය ඉනිම එසවීමට උත්සාහ කළ කේ.එල්.රාහුල් ලකුණු 39කට සහ හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 05කටත් සීමාකිරීමට දුනින් වෙල්ලාලගේ තරුණ ක්‍රීඩකයා සමත්වුණේ ඔහුගේ එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කරමිනි.

පන්දුවාර 10 තුළ ලකුණු 40ක් ලබාදෙමින් කඩුලු 05ක් දවාගැනිමට ඒ අනුව වෙල්ලාලගේ සමත් විය.

වේග පන්දුකරණනයෙන් අද යමක් කළ නොහැකි බව වටහාගත් නායක දසුන් ශානක අනෙක් අන්තයෙන් මහිෂ් තික්ෂණ, ධනංජය ද සිල්වා යොදාගත් අතර ඔවුන් විසින්ද එම වගකීම නිසිලෙස ඉටුකරන ලදී.

එමෙන්ම එක්දින තරග වලදි කලාතුරකින් පන්දු යවන චරිත් අසලංක ඉන්දියාවට එරෙහිව පන්දු යැවීමට දසුන් ශානක තෝරාගත් අතර, එහිදී එතෙක් එක් අන්තර්ජාතික කඩුල්ලක් පමණක් දවා⁣ගෙන සිටි චරිත්, සිය හොඳම පන්දු යැවීම ඉන්දීය කණ්ඩායම හමුවේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

ඉන්දීය ඉනිමේ 47 වන පන්දුවාරය අවසානයේ කොළඹ ආර්.ප්‍රේමදාස පිටියට වර්ෂාව පතිත වීමෙන් තරගය මද වේලාකට නතර කළ අතර, ඒවන විට ඉන්දීයාව කඩුලු 09ට ලකුණු 197ක් ලබාසිටියේය.

ඒ වන විට චරිත් අසලංක පන්දුවාර 09 ක් යවා, ලකුණු 18ක් ලබාදෙමින් ඉන්දීය ඉනිමේ කඩුලු 04 ක් දවාගෙන තිබිණි.

වර්ෂාවෙන් බාධා එල්ලවු තරගය නැවත ආරම්භ කළ අතර, එහිදී ඉන්දීය ඉනිම ලකුණු 212කට සීමාවූයේ පන්දුවාර 49යි එක් පන්දුවක් තුළදීය.