42.31%
17.27%
32.76%
September 12, 2023

පෞද්ගලික අංශයේ වෛද්‍ය පීඨ පිහිටුවීමට අනුමැතිය ලබාදෙමින් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීමට ලක්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයට විරෝධය පළකරයි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ නව අවස්ථා පුළුල් කිරීමේ මුවාවෙන් පෞද්ගලික වෛද්‍ය පීඨ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය කැමැත්තෙන් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සඳහන් කරයි.

පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කර සුදුසුකම් නොලබන සිසුන් බඳවා ගැනීමෙන් අනාගතයේ විශාල සෞඛ්‍ය අර්බුදයක් ඇති විය හැකි බවත්, එය උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අධෛර්යමත් කරන බවත්, ඔහු පවසයි.

එමෙන්ම ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් බොහෝ සිසුන් අධ්‍යාපනය අත්හැරීමට පෙළඹී තිබියදී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට රජය දැඩි උත්සාහයක නිරත වන බවද ඔහු සඳහන් කරයි.

ඔහු මෙසේද සඳහන් කර ඇත.

“රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත් විය හැක්කේ හොඳම ප්‍රතිඵල ලබන සිසුන්ට පමණක් බව අපි දන්නවා. එවැනි පුළුල් විෂයයන් හැදෑරීමට ඔවුන් සුදුසුකම් ලබනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල එවැනි සුදුසුකම් ලත් සිසුන් බඳවා ගනු ඇතැයි අපට සහතික විය නොහැක.

“මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට දරාගන්න බැරි විදියට හදන්න යනවා. නව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පෙර රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට රජය සැලසුම් සකස් කළ යුතුයි.” ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට රජය අදහස් කරන්නේ නම්, රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ පිහිටුවීමට පෙර නිසි ශක්‍යතා පරීක්ෂණ සිදු කරන බවට සහතික වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පසුගිය 10 වැනිදා රජයෙන් ඉල්ලා තිබේ.

මේ අතර, පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල තුනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා මහනුවර පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, මේ වනවිටත් අදාළ විශ්වවිද්‍යාල මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ඇති දරුවන් විශාල සංඛ්‍යාව සිටින නමුත්, මෙරට විශ්වවිද්‍යාල 11 ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

එපමණක් නොව, මෙරට විශ්වවිද්‍යාලවලින් ලබාගන්නා වෛද්‍ය උපාධි සඳහා පවතින ගෝලීය පිළිගැනීම පිළිබඳව ද අවධාරණය කළ ඔහු පවසා ඇත්තේ, මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එවැනි වෛද්‍යවරුන් වැඩි පිරිසක් මෙරට බිහි කළ යුතු බවය.

42.31%
17.27%
32.76%