42.31%
17.27%
32.76%
September 12, 2023

ශ්‍රී ලංකාවට එරෙහිව විකාශය කළ චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදත් මාධ්‍ය නියාමන කාර්යාලය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විදත් මාධ්‍ය නියාමන කාර්යාලය මඟින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව පසුගියදා වීඩියෝ පටයක් නිකුත් කළ අතර, එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ද චෝදනාවක් එල්ල කර තිබිණි.

තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව නිසි පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාලිකාව මඟින් සිතාමතා තමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලේ විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව අදාළ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවට බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය දැනුම් දී තිබෙන අතර, අදාළ වීඩියෝ පටය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාලිකාව පසුගිය අගෝස්තු මස 07 වැනිදා සුරේෂ් සලේගෙන් එම චෝදනා පිළිබඳ කරුණු විමසීමක් කර තිබූ බවද එම වාර්තා සඳහන් කරයි.

එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර, තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද රැඳී නොසිටි බවට ද සුරේෂ් සලේ විසින් ඊට පසුදිනම අදාළ රූපවාහිනී නාලිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇත.

පසුගිය 2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේදී පුද්ගලයන් 269දෙනකුට ජීවිත අහිමි කරමින් දේවස්ථාන 03ක් හා හෝටල් 3ක් ඇතුළු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගවේෂණය කරමින් ඒ පිළිබඳ ආන්දෝලනාත්මක වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 මඟින්, එරට වේලාවෙන් පසුගිය 05 වැනිදා රාත්‍රී 11.05ට, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් සැප්තැම්බර් 6 වැනිදා අලුයම 3.35ට පමණ නිකුත් කෙරිණි.

ඊට දිනකට පෙර “Sri Lanka bombings:were 269 people killed for political power ? Dispatches exclusive” යනුවෙන් මිනිත්තු 5ක සංක්ෂිප්ත වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කොට තිබිණි.

ශ්‍රී ලංකාව තුළ චැනල් 4 ප්‍රසිද්ධියක් උසුලන්නේ මීට පෙර 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර පැවති යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව මඟින් යුද්ධය පැවැති අවසන් සමයේදී දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදුකර ඇති බවට සනාථ කළ නොහැකි තොරතුරු මත පදනම්ව නිකුත් කළ “Killing field” නම් වාර්තා චිත්‍රපටය හේතුවෙනි.

එවකට එම වාර්තා චිත්‍රපටය දෙස් විදෙස් වශයෙන් ආන්දෝලනයට තුඩුදුන් අතර, එමඟින් එල්ල වී තිබූ සියලු චෝදනා ශ්‍රී ලංකා රජය සහ රාජපක්ෂ ආණ්ඩුව මඟින් ප්‍රතික්ෂේප කළේය.

42.31%
17.27%
32.76%