September 11, 2023

2023 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ මිල අධික ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කර තිබේ.

මුරලි මෙම විවේචනය සිදුකර ඇත්තේ ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගිය සැප්තැම්බර් 10 ඉරිදා ආසියානු කුසලාන කොළඹ පැවැති තරගය නැරඹීමට ක්‍රීඩාලෝලීන් අවම වීම හේතුවෙනි.

අවසන් මොහොතේ සංශෝධිත ප්‍රවේශපත්‍ර මිල රුපියල් 500 සහ රුපියල් 1000 දක්වා අඩු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ප්‍රකාශ කරන ලද නමුත් එයද බොහෝ දෙනා ආකර්ෂණය කර ගත්තේ නැත.

අවසන් මොහොතේ සංශෝධිත ප්‍රවේශපත්‍ර මිල රුපියල් 500 සහ රුපියල් 1000 දක්වා අඩු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රකාශ කරන ලද නමුත් එයද බොහෝදෙනා ආකර්ෂණය කර ගත්තේ නැත.

ඉන්දියාව පාකිස්ථානට යෑමට ඇති අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා, ආසියානු ක්‍රිකට් කවුන්සිලයට (ACC) තරගාවලිය වෙනුවෙන් දෙමුහුන් ආකෘතියක් තෝරාගැනීමට සිදු වූ අතර, පාකිස්ථානයේ තරග හතරක් සහ ඉතිරි තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කෙරිණි.

තරඟාවලියේ නිල සත්කාරක පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නියම කර ඇති ඉහළ ප්‍රවේශපත්‍ර මිල මෙම අසාර්ථකත්වයට හේතුව බව මුරලි පෙන්වාදී ඇත.

ඉන්දියාව ඔවුන්ගේ සියලුම තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරයි. කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර මිල ඉහළ මට්ටමක පැවැතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය පැමිණෙන්නේ සීමාසහිතවය.

News18 සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් මුරලිදරන් මෙසේ පවසා ඇත.
“මේ වසරේ ආසියානු කුසලානය සත්කාරකත්වය දරන බැවින් මෙම ප්‍රවේශපත්‍රවල මිල තීරණය කළේ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසිනි. ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ මූල්‍ය අර්බුදයක ය. ප්‍රවේශපත්‍ර මිල ඇත්තෙන්ම මිල අධික වන අතර ඒවා අවසන් මොහොතේ අඩු කරන ලදී (ඉන්දියා එදිරිව පකිස්තානය කොළඹ තරගයට පෙර) නමුත් එය ප්‍රතිඵලදායක නොවීය. ප්‍රවේශපත්‍ර මිල ශ්‍රී ලංකා රුපියල් 6000 සිට ඉහළට ආරම්භ වේ. ඔබට ප්‍රධාන මණ්ඩපයේ සිට තරගය නැරඹීමට අවශ්‍ය නම් එය ශ්‍රී ලංකා රුපියල් 40000 සිට 50000 දක්වා වන අතර එය පුද්ගලයෙකුගේ මාසික වැටුපට සමාන වේ. ශ්‍රී ලංකාවේ එතරම් මුදලක් කිසිවෙකුට දැරිය හැකි යැයි මම නොසිතමි.”