42.31%
17.27%
32.76%
September 10, 2023

ඇසේ සුද හේතුවෙන් පීඩා විදින දහස් ගණනකට පෙනීම ලබාදීම සඳහා භාවිත කරන ලද අක්ෂි කාච(Ocular lens) තොග ශ්‍රී ලංකාව සතුව ඇත්තේ මාසයකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.

වාර්තා අනාවරණය කරන ආකාරයට අමාත්‍යාංශයේ ඔන්ලයින් දත්ත ගබඩාව වන වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ‘ස්වස්තා’ හි සහ රෝහල්වල තොගවල දැක්වෙන්නේ ශූන්‍ය අගයකි.

ජාතික තොගද ඊයේ (9) සවස් වන විට ‘බිංදුවක්’ ලෙස වාර්තා විය.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ රජයේ රෝහල් සඳහා ඇති අක්ෂි කාච තොගය “මාසයකට පමණ” ප්‍රමාණවත් බවයි.

කාච තොග අවසන් වී ඇති බවට වෛද්‍ය වෘත්තීය සමිති කිහිපයක් විසින් කරන ලද චෝදනා පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළේය.

සෞඛ්‍ය ඇමැතිවරයා පවසන පරිදි, නව අක්ෂි කාච තොගයක් මිලදී ගැනීම සඳහා මේ සතියේ දී ප්‍රදානය කිරීමට ඉඩ ඇති ටෙන්ඩරයක් කැබිනට් ප්‍රසම්පාදන කමිටුවක් විසින් අවසන් කරමින් සිටී.

නව තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට කොපමණ කාලයක් ගතවේදැයි විමසූ විට ඇමැතිවරයා කියාසිටියේ ටෙන්ඩරය ලැබුණු පසු ඇණවුම් කළ තොගයෙන් කොටසක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙන බවයි.

පසුගිය ජනවාරි මාසයේදී අක්ෂි කාච මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබියදීත් මෙම හිඟය නිර්මාණය වී තිබේ.

මාස අටක කාලයක් පුරා, සැපයුම්කරුවන් අතර ආරවුල්, නිලධාරිවාදය සහ වෙනත් මැදිහත්වීම් හේතුවෙන් කාච සැපයීම ප්‍රමාදවී ඇත.

තොග අඩුවෙමින් පවතින බවත් හදිසි නොවන ඇතැම් ඇසේ සුද ඉවත්කිරීමේ සැත්කම් කල් දැමීමට සිදුවූ බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය සතියේ පිළිගත්තේය.

මෙතරම් ප්‍රමාදයක් සිදුවන්නේ මන්දැයි විමසූ විට රඹුක්වැල්ල ඇමැතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට (SPC) සහ ටෙන්ඩර් සඳහා ලංසු තැබූ සැපයුම්කරුවන් දෙදෙනකුට දොස් පැවරුවේය.

(Sunday Morning)

42.31%
17.27%
32.76%