September 9, 2023

ප්‍රථම රග්බි ලෝක කුසලාන ශූරතාවක පහස සොයන ප්‍රංශය ඊට පරිපුර්ණ  ආරම්භයක් ලබා ගත්තේ තුන් වතාවක් ශූරයන් වූ නවසීලන්තය පරාජය කරමින් පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී සමස්ත ප්‍රංශයම සතුටු සාගරයක ගිල්වමින්ය.

අර්ධ දෙකේම ආරම්භක මිනිත්තුව තුළ නවසීලන්ත පිලේ Mark Telea ගේ උත්සාහක දිනුම් ද්විත්වය ආරම්භක දින සාදය විනාශ කිරීමට තර්ජනයක් වූ හෙයින් සත්කාරක ක්‍රීඩකයින්ට අවසන් මොහොත දක්වා ප්‍රබල සටනක නිරත වීමට සිදු විය.

කෙසේ වෙතත්, Thomas Ramos ශක්තිමත් පා පහරවල් එකතු කළ ලකුණු 17 ඕල් බ්ලැක්ස් ක්‍රීඩකයින්ට නුපුරුදු පරාජයක ශෝකය උරුම කර දුන්නේය.

Melvyn Jaminet අවසන් මිනිත්තු තුන තුල රැස්කළ උත්සාහක දිනුම ප්‍රංශුවන්ගේ ජයග්‍රහණය පරිපූර්ණ කළේය.

ප්‍රංශයට A කාණ්ඩයේ මීළඟ තරගය බ්‍රහස්පතින්දා උරුගුවේ සමගින් වන අතර ඉන් පසු නැමීබියාව සහ ඉතාලිය මුණ ගැසීමට නියමිතව ඇත.

මෙම තුනෙහිම ජයග්‍රහණ ඔවුන්ට A කාණ්ඩයේ පළමු ස්ථානය සහතික කරනු ඇති අතර අයර්ලන්තය, දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය ඇතුළත් B කාණ්ඩයේ අනුශූරයන් සමඟ අවසාන අට දෙනාගේ වටයේ තරගයකට ඉඩ විවර වේ.

ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ  මූලික වටයේ තරඟ 31ම ජයග්‍රහණය කළ නවසීලන්තය, පළමුවරට එහි වේදනාව අත්දකිමින් සිටී.

වසර හතරකට පෙර, ජපානයේ දී, ඔවුන් මූලික වටයේ තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කළ නමුත් අවසානයේ ස්ප්‍රිංබොක්ස්ලා රග්බි ඉතිහාසය අලුත කළේ පළමු තරගය පරාජය වී විලියම් වෙබ් එලිස් කුසලානය දෝතට ගත් පළමු කණ්ඩායම ලෙසිනි.

මීට පෙර අවස්ථා තුනකදී පහස අහිමි වූ කුසලානයක පහස විඳින්නට ප්‍රංශුවන් පිඹුරුපත් සකසන තරගාවලියක ශක්තිවන්තයන්ගේ උපායශීලීත්වය සහ දරාගැනීම කල එලි බසින වසන්ත සැණකෙලියක අපූර්වත්වය විඳිමින් සරත් සමයට එළැඹෙන්නට අපට හැකි වනු ඇත.