September 8, 2023

චීන මහා ප්‍රාකාරයට හානි කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

BBC පුවත් සේවය සඳහන් කරන අන්දමට මධ්‍යම ෂාන්සි පළාතේ කැණීම්කරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම ෂාන්සි පළාතේ ඉදිකිරීම් කම්කරුවන් විසින් කැණීම් යන්ත්‍රයක් යොදාගනිමින් චීන මහා ප්‍රාකාරයේ කොටසකට දැඩි ලෙස හානිකර ඇත.

පුද්ගලයන් දෙදෙනා තම ඉදිකිරීම් කටයුතු සඳහා කෙටි මාර්ගයක් නිර්මාණය කර ගැනීමට මෙලෙස ප්‍රාකාරය කඩාදමා උත්සාහ කළ බවට සැක කරන බව පොලිසිය පවසයි.

38 හැවිරිදි පුරුෂයා සහ 55 හැවිරිදි කාන්තාව හානියට පත් ප්‍රදේශය වන, 32 වැනි මහා ප්‍රාකාරය ආසන්නයේ සේවය කරමින් සිට ඇත.

ඔවුන්ගේ කැණීම් යන්ත්‍රයට ඒ හරහා ගමන් කළ හැකි වන පරිදි, මහා ප්‍රාකාරයේ පවතින කුහරයක් පුළුල් කිරීමෙන් ඔවුන් “විශාල හිඩැසක්” හාරා ඇත.

ඔවුන් දෙදෙනා විසින් “චීන මහා ප්‍රාකාරයෙහි අඛණ්ඩතාවයට සහ සංස්කෘතික වටිනාකම්වල ආරක්ෂාවට ආපසු හැරවිය නොහැකි හානියක්” සිදු කළ බව ද පොලිසිය අවධාරණය කර තිබේ.

චීන මහා ප්‍රාකාරයට ඍජුවම හානි සිදු කළ පුද්ගලයන් වශයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණද මීට පෙර ද මෙය නොයෙක් අයුරින් විනාශ මුඛයට පත්වෙමින් තිබිණි.

දිගුකලක් තිස්සේ ඛාදනය හා මිනිස් ක්‍රියාකාරකම්වලට ලක්වෙමින් තිබූ ප්‍රාකාරය තවත් අයුරකින් විනාශයට පත් වෙමින් තිබුණේ ප්‍රදේශවාසීන් ඔවුන්ගේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තමනට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමට මෙය විනාශ මුඛයට ලක්කර තිබිණි.

එමෙන්ම අලෙවිය සඳහා ගඩොල් ලබාගැනීම ද සිදුවිණි.

චීනයේ මහා ප්‍රාකාරයේ සමිති උප සභාපතිවරයා වන ඩොං යාඕහුයි සඳහන් කරන්නේ 50 සහ 60 දශකයේදී තාප්පය නිතිපතා ඉරිතැළීම්වලට ලක්වූ නමුත් මිනිසුන් මේ ගැන නොසිතා තාප්පය කඩා දමා අමුද්‍රව්‍ය භාවිතයට ගන්නා ලද බවයි.

කෙසේ වෙතත් 1984 වසරේදී එහි සංරක්ෂණය වෙනුවෙන් ව්‍යාපාරයක් ද ආරම්භ කෙරිණි.

චීන රජයේ මාධ්‍ය වාර්තා කරනු ලබන්නේ 21 වැනි සියවස දක්වා ප්‍රාකාරය අසල ජීවත්වන්නන් තමන්ගේ ගබඩා කටයුතු මෙන්ම, ගෙවත්තේ කොටසක් ලෙස හෝ මේවාට හානිකරමින් භාවිත කර ඇති බවයි.

එමෙන්ම සංචාරකයින්ගේ හානියට ද මෙය ලක්වුණේ 2021 වසරේදීය. සංචාරකයින් පිරිසක් බිත්තිය මත තම නම කැටයම් කිරීමේ හේතුවෙන් ඩොලර් 68ක දඩයකට ලක්කළ අතර දින 10ක් රඳවා තබාගැනීමට ද නියම කෙරිණි.

ඒ කෙසේ වෙතත් මහා ප්‍රාකාරය ආරක්ෂා කිරීමේ කටයුතුවලදී පවා 2019 සැලැස්මට අනුව ව්‍යුහයෙන් 18.4%ක් දුර්වල ලෙස සංරක්ෂණය කර ඇති බවත් 27.1%ක් අතුරුදන්වීමේ තර්ජනයට මෙන්ම 24%ක් අතුරුදන්වීමට පවා ලක්ව ඇත.