September 7, 2023

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා රාත්‍රියේ පැවති තරඟය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශක මොහොමඩ් නසීම් සදාත් ප්‍රකාශ කර ඇත්තේ, තම කණ්ඩායමට තරගය සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් පවතින බවයි.

ඇෆ්ගනිස්තානය 2023 ආසියානු කුසලානයේ B කාණ්ඩයට ඇතුළත් වේ. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු තරඟය බංග්ලාදේශයට එරෙහිව ලකුණු 89 කින් පරාජයට පත් විය.

අඟහරුවාදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ලකුණු 292ක ඉලක්කයක් ලබාදුන්නේය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානයට ඕවර 37.1 කදී එම ඉලක්කය හඹා යා යුතු විය.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේදී ඇෆ්ගනිස්තානය කඩුලු 09ක් දැවී ලකුණු 290ක් ලබා සිටියදී තරග තීරකයන් ප්‍රකාශ කළේ, ඕවර 37.1 පසුවුවද ඉදිරි පන්දු තුන ඇතුළත හයේ පහරක් එල්ල කළහොත් ඇෆ්ගනිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට තවමත් අවස්ථාව පවතින බවයි.

එහෙත් පිටියේ සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් දෙදෙනා ඉදිරි පන්දු තුනේදී ලකුණු 295ක් ලබාගත්තේ නම් ඔවුන්ට තවමත් සුපිරි 04 වටයට පැමිණිය හැකි බවට ගණනය කිරීම නොදැන සිටි බව දැකගත හැකිවිය.

මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින බවත්, ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැළකිලිමත් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දඬුවම් කරන බවත් සදාත් වැඩිදුරටත් පවසා ඇත.