52.9%
21%
19.6%
September 4, 2023

බ්‍රිතාන්‍ය සංචාරකයන් අටදෙනකු ඇතුළු පුද්ගලයන් 250කට වැඩි පිරිසකට මරු කැඳවූ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට රාජපක්ෂ පවුලට පක්ෂපාතී ශ‍්‍රී ලංකා නිලධාරීන් හවුල් වූ බව බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4 නාලිකාව’ හෙළිදරව් කරයි.

එක්සත් රාජධානියේ ටයිම්ස් පුවත්පතට අනුව, චැනල් 4 නාලිකාවේ හෙට විකාශය වීමට නියමිත පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වේදී ඉහළම නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ, ‘රාජපක්ෂලාට’ නැවත බලයට පැමිණීමට පහසුකම් සැලසීම වෙනුවෙන් තමන් ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකු වන සුරේෂ් සලේ සහ ඉස්ලාමීය රාජ්‍යයට අනුබද්ධ බෝම්බකරුවන් අතර කුමන්ත්‍රණයක් සිදුකිරීමට 2018 රැස්වීමක් සංවිධානය කළ බවයි.

“රැස්වීම ඉවරයි, සුරේෂ් සලේ මා ළඟට ඇවිත් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් අවශ්‍යයි, ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම ක්‍රමය ඒක තමයි” යැයි හන්සීර් අසාද් මවුලානා නම් පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

‘මුහම්මදු මිල්ලාර් මුහම්මදු හන්සීර්’ හෙවත් ‘අසාද් හන්සීර් මවුලානා’ යනු වත්මන් රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයන්ගේ TMVP පක්ෂයේ එවක මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම මුදල් ලේකම්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසු ආරක්ෂාව යථා තත්ත්වයට පත් කරන බවට දුන් පොරොන්දුව මත ගෝඨාභය රාජපක්ෂ බලය ලබාගැනීමත් සමඟ සලේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස උසස් කරන ලදී.

ඔහු මීට පෙර ඔහුගේ සොහොයුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

දෙමළ කොටි කැරැල්ල මැඬලීමේ වගකීම ඔවුන් ඒකාබද්ධව පිළිගත් නමුත්, 2015 දී බලය අහිමි වූ අතර පසුව ඔවුහු සිය පාලන කාලය තුළ අධිකරණයෙන් පරිබාහිර ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මහා පරිමාණ දූෂණ පිළිබඳ විමර්ශනවලට මුහුණ දුන්හ.

ප්‍රහාරවලට බලවත් රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ශ්‍රී ලංකාව තුළ බොහෝ කලක සිට කටකතා පැතිර ගිය නමුත්, හිටපු චැනල් 4 ප්‍රවෘත්ති කර්තෘ බෙන් ද පෙයාර් විසින් ආරම්භ කරන ලද බේස්මන්ට් ෆිල්ම්ස් විසින් සාදන ලද වාර්තා චිත්‍රපටය, ඉහළ පෙළේ තොරතුරු හෙළි කරන්නන් ඒ පිළිබඳව අනාවරණය කරන පළමු අවස්ථාව වේ.

මවුලානා පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඇති අතර ඔහු සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ. ඔවුන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසනීය ලෙස සළකමින් විමර්ශනය කරයි.

නම හෙළි නොකළ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක්, බෝම්බකරුවන් සමඟ සලේගේ පැවැති සබඳතා පිළිබඳ මවුලානාගේ ප්‍රකාශ තහවුරු කර ඇති අතර, හමුදා බුද්ධි අංශ විසින් පොලිස් විමර්ශන නැවත නැවතත් ව්‍යර්ථ කළ බව පවසා ඇත.

2019 දී මෙම පාලනය බලයට පත් වූ විට, විමර්ශනයට සම්බන්ධ සියලුම නිලධාරීන් මාරු කර යවා, විමර්ශනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර ඇත,” යැයි එම නිලධාරියා පවසයි.” යැයි ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ චෝදනාව සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේගෙන් විමසීමක් කොට ඇති අතර ඔහු එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබේ.

චැනල් 4 වෙත ලිපියක් යවමින් මේජර් ජනරාල් සුරේෂ් සලේ, එම චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” ලෙස ප්‍රකාශ කර ඇති අතර, චිත්‍රපට නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කළ පුද්ගලයන් සමඟ සම්බන්ධයක් පැවැත්වූ බව ප්‍රතික්ෂේප කර ඇත.

බෝම්බකරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන දිනවලදී තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවද ඔහු පවසා ඇත. “පාස්කු ප්‍රහාරයට මගේ කිසිම සම්බන්ධයක් නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

52.9%
21%
19.6%