September 1, 2023

මෙවර ආසියානු කුසලානයේ වඩාත් එදිරිවාදී කණ්ඩායම් ද්විත්වය ඉන්දියාව සහ පකිස්ථානය ද? පසුකාලීනව, ඇෆ්ගනිස්තානය හා පකිස්තානය සහ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එදිරිවාදිකම් අතින් පිටියේ වඩාත් තියුණු  විය හැකි නමුත් ඉතිහාසය පුරාම ඉන්දියාව සහ පාකිස්තානය පසමිතුරන් ලෙස හඳුන්වනු ලැබීය. ජාත්‍යන්තර පිටියේ ඔවුන් එකිනෙකා මුණ ගැසෙන්නේ කලාතුරකින් වන නිසාවෙන්ම ඒ සෑම හමුවක්ම අතිශය ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමි කර ගනී. ඔවුන් අවසන් වරට එක්දින තරගයකදී මුණගැසුණු විට සිදුවූයේ කුමක්දැයි විමසීමට ඔබට 2019 ලෝක කුසලානය දක්වා ආපසු යාමට සිදුවනු ඇත.

පසුගිය කාලයේ කණ්ඩායම් දෙකෙහි හමු වීම පාකිස්තාන පන්දු යවන්නන් සහ ඉන්දීය පිතිකරුවන් අතර සටනක් විය. ෂහීන් ෂා අෆ්රිඩි, නසීම් ෂා සහ හරිස් රවුෆ් – රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි සමඟ මෙවරත් එහි වෙනසක් පල්ලෙකැලේදී බලාපොරොත්තු විය නොහැකිය.

ආසියානු කුසලානයේදී ශ්‍රෙයාස් අයියර් සහ කේඑල් රාහුල්ගේ නැවත පැමිණීම සනිටුහන් කිරීමට නියමිතව තිබුණි. අයියර් පූර්ණ වශයෙන් ශාරීරික යෝග්‍ය බව ප්‍රකාශ කර ඇති අතර, රාහුල් තවමත් සම්පූර්ණ යෝග්‍යතාවය ලබා නොමැති බැවින් එය ඉෂාන් කිෂාන්ට තවත් අවස්ථාවකි. කිෂාන් බටහිර ඉන්දීය කොදෙව්හිදී පිට පිටම අර්ධ ශතක තුනක් රැස් කළ නමුත් රෝහිත් යළි පැමිණීමත් සමඟ කිෂාන්ට ආරම්භක පිතිකරු භූමිකාව අත්හැරීමට සිදුවනු ඇත.

ඉන්දියාව වෙනුවෙන් තවත් ප්‍රධාන ක්‍රීඩකයෙකු වන බුම්රා අයර්ලන්ත T20I තරඟාවලිය අතරතුර යළි කණ්ඩායමට එක් විය. එම තරගාවලියට පෙර බුම්රා පවසා තිබුණේ තමන් පන්දුවාර දහයක් යැවීමට සූදානම් බවයි. සෙනසුරාදා තරගය, වර්ෂාවෙන් තර්ජනයක් පවතින බැවින් කාලගුණය හරස් නොවුණහොත්, බුම්රාගේ හැකියාව පරීක්ෂා කිරීමට හැකි වනු ඇත.

තරඟාවලියේ ආරම්භක තරඟයේදී නේපාලයට එරෙහිව විශිෂ්ට ලකුණු 151ක් රැස්කරමින් පකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ඉහළින් පසුවන නමුත් ෆකාර් ලකුණු අතරට නොපැමිණීම කනස්සල්ලට හේතු විය හැක. නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 180ක් ඇතුළුව ඔහුගේ පිට පිට ශතක තුනෙන් පසුව, ෆකාර්ට ඊළඟ ඉනිම් හතේදී ලබා ගත හැකි වී ඇත්තේ ලකුණු 139ක් පමණි. එහෙත් ඔහු කෙතරම් විනාශකාරී විය හැකිදැයි පකිස්‌තානය මෙන්ම ඉන්දියාව ද දනිති. එපමණක් නොව, ඉන්දියාවට නොමැති දිගු පිතිකරණ ලැයිස්තුවක පාකිස්තානයට ඇත.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

ඉන්දියාවට දැඩි තීරණ කිහිපයක් ගැනීමට සිදුවේ. ශර්දුල් තාකූර් සමග ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුව දිගු කළහොත්, වේග පන්දු යවන්නන් සඳහා ස්ථාන දෙකක් පමණක් ඉතිරි වනු ඇත (කුල්දීප් යාදව්ගේ ස්ථානය ස්ථිර යැයි උපකල්පනය කළහොත්). එසේ වුවහොත් මොහොමඩ් ෂාමි සහ ප්‍රසිද් ක්‍රිෂ්ණාට වඩා බුම්රා සහ මොහොමඩ් සිරාජ්ට අවසන් 11 දෙනා අතර රැඳෙන්නට වැඩි ඉඩක් තිබේ.

ඉන්දියාව : 1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 ශ්‍රෙයාස් අයියර්, 5 ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා), 6 හර්දික් පාන්ඩ්‍යා, 7 රවීන්ද්‍ර ජඩේජා, 8 ශර්දුල් තාකූර් /මොහොමඩ් ෂාමි, 9 කුල්දීප් යාදව්, 10 මොහොමඩ් සිරාජ්, 11 ජස්ප්‍රිත් බුම්රා

පාකිස්තානය පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම වෙනස් නොකිරීමට තීරණය කර තිබේ.

පකිස්තානය : 1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බබාර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 5 අගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 මොහොමඩ් නවාස්, 9 ෂහීන් ෂා අෆ්රිඩි , 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්

තණතීරුව

තරගය පැවැත්වෙන්නේ නැවුම් තණතීරුවක නමුත් එය ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ මෙන් හැසිරෙන්නේ නම්, පිතිකරුවන්ට යම් වාසියක් ලබා ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් අලුයම සිට මධ්‍යහනය දක්වා වර්ෂාව ඇද හැලෙන බවට අනාවැකි පල කර තිබීම හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද විය හැකිය.

එක්දින ලකුණු 13,000 පසුකළ පස්වැනි පිතිකරුවා වීමට කෝලිට තවත් ලකුණු 102ක් අඩුය. ඔහුට පල්ලෙකැලේදී සිය 266 වැනි ඉනිමේදී එම වාර්තාවට යා හැකි වුවහොත්, එම සන්ධිස්ථානය සම්පූර්ණ කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව (ඉනිම් 321) කෝලිගේ නම ඉදිරියේ සටහන් වනු ඇත.

මේ වන විට එක්දින ශතක 19ක් සම්පූර්ණ කර ඇති බාබර්ට තවත් එක් ශතකයක් ලබා ගනිමින් පාකිස්තානය වෙනුවෙන් වැඩිම එක්දින ශතක ලබා ගත් ක්‍රීඩකයා ලෙස සයිඩ් අන්වර් සමග සම තැන් ගැනීමට හැකිවේ.

වේගවත්ම එක්දින ලකුණු 3000 පසු කළ දෙවැනි පිතිකරුවා වීමට ඉමාම් උල් හක්ට අවස්ථාව තිබේ. මේ වන විට ඔහු ඉනිම 63 කදී ලකුණු 2889 ක් ලබා සිටියි. දැනට දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ ඉනිම 67කදී එම කඩඉම පසුකළ Shai Hope සහ Fakhar Zamanය.

රවීන්ද්‍ර ජඩේජාට එක්දින කඩුලු 200ක් ලබාගත් හත්වැනි ඉන්දීය ක්‍රීඩකයා වීමට කඩුලු 6ක් අවශ්‍ය වන අතර ඒත් සමගින් ඔහු කපිල් දේව්ට (ලකුණු 3783ක් සහ කඩුලු 253ක්) පසුව ලකුණු 2000 සහ කඩුලු 200 ද්විත්වය සම්පූර්ණ කළ පළමු ඉන්දීය ක්‍රීඩකයාද වේ.

මේ සියල්ල තීරණය වන්නේ වර්ෂාව හරස් වීම හෝ නොවීම මතය.