August 29, 2023

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය තුල ආරක්ෂිත ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියළු නවීන තාක්ෂණික මෙවලම් උපයෝගි කරගැනීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව ගුවන් මෙහෙයුම් කටයුතු සඳහා මෙතෙක් පරිහරණය කල වසර 20ක් පමණ පැරණි ගුවන් මෙහෙයුම් සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් පසුගියදා කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී.

මෙම අධි තාක්ෂණික සන්නිවේදන පද්ධතිය, නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහභාගි වු අතර ප්‍රථම ඇමතුම කටුනායක සිට රත්මලාන ප්‍රධාන ගුවන් පාලක කුළුණ වෙත ලබා ගන්නා ලදී.

රුපියල් මිලියන 670 ක පිරිවැයකින් ස්ථාපනය කරන ලද මෙම පද්ධතිය යුරෝපීය ප්‍රමිතියට අනුව ඉතාලියේ නිෂ්පාදනය කර ඇත.

මෙම සන්නිවේදන පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුලින් ගුවන් ගමන් පාලකවරුන්ට ප්‍රධාන පාලක මැදිරියේ සිට ගුවන්යානයට, සියළු ගුවන් තොටුපලවලට සහ රේඩාර් මධ්‍යස්ථානයට ක්ෂණයකින් සම්බන්ධ විය හැක.

මෙම අධි තාක්ෂණික සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීම සහ නිරන්තර නඩත්තුව සිදු කරනු ලබනුයේ ගුවන්තොටුපලේ ගුවන් සංතරණ සේවා ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින්ය.

මෙම අධි තාක්ෂණික පද්ධතිය ස්ථාපනය කිරීම නිමිත්තෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේ, මෙවැනි අධි තාක්ෂණික මෙවලම් ගුවන්තොටුපලේ ස්ථාපනය  කිරීම තුලින් අපේ ගුවන් කලාපය ආරක්ෂිත කලාපයක් බවට පත් කර ගැනීමට හැකි වන බවයි.

දැනට අප භාවිතා කරන පිදුරුතලාගල පිහිටි රේඩාර් පද්ධතිය පැරණි බව පැවසු අමාත්‍යවරයා ලබන ඔක්තෝබර් මස වන විට ලොව ඇති නවීන තාක්ෂණයෙන් යුතු රේඩාර් පද්ධතියක් සවි කිරීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.