August 29, 2023

සියලුම රාජ්‍ය නොවන සංවිධාන (NGO) රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කළ බවයි.

මේ අතර, දේශපාලනික නොවන න්‍යාය පත්‍රයක් මත පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, රටේ නීතිය හා සාමය ඉහළම මට්ටමින් ආරක්ෂා කිරීමට සෑම විටම කැපවී සිටින බවත් ඇමැති අලස් මහතා වැඩිදුරටත් පවසා ඇත.

වගකිවයුතු රජයක් ලෙස ජන ජීවිතයට සිදුවන බාධාවන් නැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඇමැතිවරයා පෙන්වාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පාතාලය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.