August 24, 2023

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයැදුම් කළ තොරතුරු ලබානොදෙන්නේ නම් සහ එය නොසළකා හරින්නේ නම්, එම පනතේ අදාළ විධිවිධාන බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව නිගමනය කරමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ නම් කරන ලද නිලධාරියාට (පොලිස්පති) සහ පොලිස් තොරතුරු නිලධාරියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව අනතුරු ඇඟවා ඇත.

අප්‍රේල් 21 දිනැති ඉල්ලීමක් මගින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇති පැමිණිලි දෙකකට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ගවල තොරතුරු තමාට ලබාදෙන ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

පැමිණිලි සම්බන්ධ විස්තර මෙසේය.

2022 ඔක්තෝබර් 09 වැනිදා ගාලු මුවදොර පැවැත්වූ සාමකාමී විරෝධතාවයකට පොලිසිය කඩාවැදී පහරදී පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ම්ලේච්ඡ හැසිරීමට විරෝධය පළ කිරීමට නීතිඥවරු සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් විරෝධතාවක් සහ පාගමනක් පවත්වන බව කොටුව පොලිස් ස්ථානාධිපතිට ලිඛිතව දැනුම් දී ඔක්තෝම්බර් 10 වැනිදා එම නිහඬ විරෝධතාව සිදු කර ඇත.

එම විරෝධතාව අවසන් වී පදික වේදිකාව දිගේ කිසිම අයෙක්ට බාධාවක් නොවන ලෙස නීතිඥවරුන්ගේ කාර්යාලය දෙසට යන අවස්ථාවේදී පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කර ඔවුන්ගේ ගමන නවත්වා තිබේ.

ඒ ගැන පැහැදිලි කිරීමට උත්සාහ කළද පොලිසිය එය ගණන් නොගෙන ද්වේෂ සහගත ලෙස සළකා ඇති අතර, පසුව එම ක්‍රියාව සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස්ට (මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති) සහ සහකාර පොලිස් අධිකාරී නලින්ද දිල්රුක්ට විරුද්ධව අයුතු අවහිරය ඇතුලු චෝදනා යටතේ පැමිණිල්ලක් කිරීමට ඔක්තෝබර් 11 වැනිදා කොටුව පොලිස් ස්ථානයට ගිය විට එහි ස්ථානාධිපති සාගර ලියනගේ අදාළ පැමිණිල්ල බාර නොගෙන අඩත්තේට්ටම් කළ බව තරිඳු ජයවර්ධන සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

ඒ අනුව, එලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කොටුව ස්ථානාධිපතිවරයාට සහ ඔවුන්ගේ ගමන නතර කිරීම ගැන රොෂාන් ඩයස් සහ නලින්ද දිල්රුක් යන අයට එරෙහිව ඔක්තෝබර් 11 වැනිදා පොලිස් මූලස්ථානයට මෙලෙස අදාළ පැමිණිලි දෙක ඉදිරිපත් කර තිබේ.

තොරතුරු නිලධාරිවරයාගෙන් ඔහුගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් තරිඳු ජයවර්ධන තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්න වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එහිදී පොලිස්පතිවරයාගෙන් ද ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර, තරිඳු ජයවර්ධන පසුව මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට අභියාචනයක් ගොනු කර තිබේ.

නම් කරන ලද නිලධාරියා සහ තොරතුරු නිලධාරියා යන දෙදෙනාම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, එවැනි හැසිරීමක් කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බවත්, අදාළ අභියාචනය විභාග කිරීම අවසන් කරමින් කොමිසම සඳහන් කර ඇත.

තොරතුරු දැනගැනීමේ පනතේ අදාළ විධිවිධානවල තොරතුරු නිලධාරියා සහ නම් කරන ලද නිලධාරියා ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලිව සඳහන් කර තිබියදී, කොමිසම සඳහන් කර ඇත්තේ, ඔවුන් එවැනි ප්‍රතිපාදනවලට අනුව ක්‍රියා කර ඇති බව මෙම අවස්ථාවේදී නොපෙනෙන බවයි.

අදාළ තොරතුරු ලබාදීමට පොලිසිය එකඟ වූ බැවින් කොමිසම සිය තීන්දුවෙන් පොලිස්පතිවරයාට සහ තොරතුරු නිලධාරිනී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනීට අඟහරුවාදා (22) වන විට තොරතුරු ලබාදෙන ලෙස නියෝග කර ඇත.

කෙසේ වෙතත්, ඊයේ (23) වන විටත් එම නියෝගයට ඔවුන් අවනත වී නොමැති බැවින් අදාළ නීතිමය ප්‍රතිපාදන යටතේ පොලිසියට එරෙහිව ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස තමා කොමිසමෙන් ඉල්ලා සිටි බව තරිඳු ජයවර්ධන පවසයි.