August 19, 2023

අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතට හඳුන්වාදී ඇති නව සංශෝධනවලට අනුව අන්තරායකර මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණය ග්රෑම් 10ට වඩා අඩු වූ විට පුද්ගලයකුට ඇප ලබාදීමේ බලය මහාධිකරණයට ඇති බව අභියාචනාධිකරණය පසුගියදා සිය තීන්දුවකින් ප්‍රකාශ කර ඇත.

2022 සංශෝධන පනත මගින් සංශෝධිත අන්තරායකර ඖෂධ ආඥා පනතේ 84 සහ 85 වගන්ති මහාධිකරණයෙන් ඇප ලබාදීමට අදාළ වගන්ති බව සම්පත් අබේකෝන් සහ පී. කුමාරරත්නම් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

“2022 අංක 41 දරන සංශෝධන පනත මගින් සංශෝධිත ආඥා පනතේ 85 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා ක්‍රියා කර නියෝගයක් ලබාගෙන නොමැති නම්, පුද්ගලයෙකු ළඟ තබාගෙන හෝ ප්‍රවාහනය කළේ යැයි කියන භයානක මත්ද්‍රව්‍යවල ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට වඩා අඩු වූ විට, නීතිපතිවරයා හැර, මාස 12 ක අත්අඩංගුවේ පසුවන අයකු ඇප මත මුදාහැරීම හැර වෙනත් විකල්පයක් අදාළ මහාධිකරණයට නැත.” යැයි අධිකරණය නිරීක්ෂණය කර ඇත.

මෙම නඩුවේදී, 2022 අංක 41 දරන පනතින් සංශෝධිත විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ 83 වැනි වගන්තියට අනුව විත්තිකරුට ඇප මත මුදාහැරීමට හිමිකම් ඇති බවට විත්තිකරුවකු ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබිණි.

සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කළ බව කියන මත්ද්‍රව්‍යවල ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට අඩු ය. එනම් ග්‍රෑම් 9.426 කි.

එවැනි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම සඳහා පුද්ගලයකු රිමාන්ඩ් භාරයේ තබාගත හැකි උපරිම කාලය මාස 12 කි.

මෙහිදී, 2022 අංක 41 දරන සංශෝධන පනතට අනුව හෙරොයින් ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටින අයකුට මරණ දණ්ඩනය නියම කළ හැකි බැවින්, ඇපදීමට මහාධිකරණයට බලයක් නැති බව පවසමින් ඇප ඉල්ලීමට මහාධිකරණයේදී නීතිපතිවරයා විරෝධය පළ කර තිබිණි.