August 18, 2023

තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පැවසීය.

මීට පෙර තරුණ අසහන කොමිෂන් සභාව මඟින් පළාත් පාලන ආයතන නාම යෝජනා සඳහා 25%ක තරුණ නියෝජනයක් ලබා දී තිබුණද, පසුගිය සමයේ එම අවස්ථාව අහිමි වී ගිය බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත ලබාදීමට දරන මෙම ප්‍රයත්නයට සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තරුණ ප්‍රජාව දායක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය.

“තරුණ ප්‍රජාවට නාම යෝජනාවල 25%ක් ලැබීමේ අයිතිය තහවුරු වන ආකාරයට පළාත් පාලන පනත සංශෝධනය කිරීම තමයි මෙම යෝජනාව හරහා සිදු වන්නේ. මෙම සංශෝධනය මම පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් දැන් කාලයක් ගත වී තිබෙනවා. එය පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක කාරක සභාව තුළ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළ ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

තරුණ නියෝජනය පිළිබඳ පනත දෙවතාවක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මෙවර තරුණ දිනයත් සමඟම ඊළග පාර්ලිමේන්තු සැසියට මෙම යෝජනාව ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.

ඇතැම් විට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනතක් බවට පත්වීම දුෂ්කර වගේම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක්. නමුත් මෙම පුද්ගලික පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් බවට පත් කිරීමට අවශ්‍ය සහාය ලබාදීම පිළිබව මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තරුණයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට එතුමා ලබාදෙන දායකත්වය අගය කළ යුතුයි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.