August 18, 2023

දේශීය ආදායම්,රේගු සහ සුරාබදු නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් රජයට අයවිය යුතු විශාල බදු ආදායමක් අහිමිව යන බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

එමනිසා දේශීය ආදායම්, රේගු සහ සුරාබදු පනත් සංශෝධනය කරමින් නිලධාරීන්ට අක්‍රමිකතා සිදුකළ හැකි හිස්තැන් වසාදැමීමට කඩිනමින් රජය පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හෙතෙම මෙම අදහස් පලකරන ලද්දේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

“ආණ්ඩුව මෙම වසරේ පමණක් රුපියල් බිලියන 3105ක රාජ්‍ය බදු ආදායමක් බලාපොරාත්තු ‌ෙවනවා. නමුත් මේ වන විට එම ආයතන තුනෙන් ලැබී තිබෙන්නේ රුපියල් බිලියන 1179ක බදු ආදායමක් පමණයි. මේ වසරේ දෙසැම්බර් මාසය වන විට අදාළ ඉලක්කවලට යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දන්වා තිබෙනවා. මෙම ආයතන තුනට එම ඉලක්කය සපුරාගත හැකිද යන්න පිළිබඳ වාර්තාවක් මේ වන විට සකස් කර තිබෙනවා. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කමිටුව විශ්වාස කරන ආකාරයට මේ ආයතන තුන ප්‍රතිව්‍යුහගතකරණයට ලක් නොකළ හොත් ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්කවලට යාමට හැකියාවක් නැහැ.

ජනතාව හැමදාම චෝදනා කරන්නේ දේශපාලනඥයන්ට පමණයි. නමුත් රජයට බදු ආදායම් ලබා දෙන ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ අකටයුතුකම් තිබෙනවා. මේවායේ සිදුවන දූෂණ අක්‍රමිකතා සහ ඇතැම් කඩාකප්පල්කාරී කටයුතු නිසා මේ ආයතනවලින් රජයට ගත හැකි බදු කිසිවක් අය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අය විය යුතුව තිබෙනවා. රජයට බදු නොගෙවා සිටීම සඳහා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම අභියාචනා 4 විභාග කරන්න අවුරුදු 15ක් ගත වෙනවා. රුපියල් බිලියන 904ක මුදල අය කර ගන්න වසර 15ක් ගත වෙනවා. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් හිතාමතාම සිය රාජකාරිය පැහැර හරිනවා. මේ ආකාරයට බදු අය කර ගැනීමේ යාන්ත්‍රණයේ විශාල හිඩැසක් තිබෙනවා.

ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8ක් වැය කරලා දත්ත පද්ධතියක් සකස් කළා. නමුත් වසර 10ක් තිස්සේ මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කිසිදු උත්සාහයක් ගෙන නැහැ. මෙම දත්ත පද්ධතියට ආයතන 42ක් ඇතුළත් කර තිබෙනවා. දත්ත පද්ධතිය සකස් කළොත් ඔවුන්ට වුවමනා විදිහට කටයුතු කිරීමේ හැකියාව නැති වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය කළ යුතු බවට යෝජනා කළේ මේ අක්‍රමිකතා ද වළක්වා ගැනීමේ අපේක්ෂාව ඇතුවයි.”

දැනට පවතින පනතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය බදු ආදායම වැඩි කර ගන්න හැකියාවක් නැහැ. රටේ ඇතැම් ප්‍රබල ව්‍යාපාරිකයන් නියමිත ලෙස රජයට බදු ගෙවන්නේ නැහැ. ඔවුන් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සොයා බලා තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. එම නිසා මෙම අය කරගත හැකි කොටස් වෙතින් නියමිත ලෙස බදු අය කර ගැනීමෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා.”