August 15, 2023

ඕනෑම අලෙවිකරුවකුට සිය කැමැත්ත පරිදි චීනයේ සිනොපෙක් සමාගම සමග එක්ව, එම සමාගම නියම කරන මිලට ඉන්ධන අලෙවි කළ හැකි බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

ලබන සැප්තැම්බර් 20 වන දා වන විට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදෙස් සමාගම්වලට මෙරට ඉන්ධන අලෙවි කළ හැකි බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙම අදහස් පළකළේ, අද පස්වරුවේ පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හෙතෙම එහිදී මෙසේද පැවැසීය.

“සිනොපෙක් දන්වලා තියෙනවා අද උදෑසන වන විට ඔවුන්ගේ බෙදුම්කරුවන් 150න් 109ක් එක්ක ගිවුසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙනකොට මම හිතනවා 115ක් පමණ වගේ වෙයි. ලබන සතිය වන විට ඔවුන් 150ම සම්පූර්ණ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් අපට දැනට දැනුවත් කරලා තියෙනවා සැප්තැම්බර් 20 ඔවුන් සියලු ම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන් කරගෙන තියෙන්නේ කියලා. ඊට පෙර පුළුවන් වුණොත් ඔවුන් සැප්තැම්බර් මාසයේ මුල් සතියේ ඉඳලා ඒ කටයුතු කරනවා කියන එක.

ආරම්භ කිරීමේදී ඔවුන් අපි දැන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදීලා තියෙන උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමට. ඒ වගේම ඔවුන් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ධාරිතාවයෙන් ඔවුන් කටයුතු කිරීමේදී ඔවුන්ට අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය අඩු කරනන. දැන් කාටවත් බැහැ අපේ දාලා තියෙන උපරිම සිල්ලර මිලෙන් ඉහළ විකුණන්න. ඕනෑ ම පාර්ශවයකට පුළුවන් සිනොපෙක් වෙන්න පුළුවන්, ලංකා අයිඕසී වෙන්න පුළුවන්, නැත්නම් සීපීසී වෙන්න පුළුවන්, ඒ තුනට ම පුළුවන් තමන්ට ඒ උපරිම සිල්ලර මිලට යටත්ව ඕනෑම පහළ අගයකට තමන්ගේ ඉන්ධන අලෙවි කරන්න.

ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 20 වෙනකොට අපි දාල තියෙන උපරිම සිල්ලර මිලට අඩුවෙන් ඔවුන්ගේ ඉන්ධන අලෙවි කිරීමේ කටයුතුවල නිරත වේවි කියලා. අනෙක් සමාගම් දෙකත් දන්වලා තියෙනවා ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී ඔවුන් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරනවා කියලා.

මොක ද අපිට වාසියක් ලැබෙනවා සිනොපෙක් වැනි ආයතන එකතු වීම නිසා අපිට තියෙන වැය බර අඩුවෙනවා ඩොලර් මිලියන 50ක් 60ක් අඩුවෙනවා මාසෙකට ඉන්ධනවලට යන. මොකද ඔවුන් ඔවුන්ගේ මුදල් ආයෝජනය කරලා අවුරුද්දක් අපේ රට ඇතුළේ ඒ මුදල් තියා ගන්න ඕනේ අපේ තියෙන සංචිතවලින් නෙවෙයි ඒ මුදල් ගන්නේ. ඒ අඩුවීම නිසා අපිට ධාරිතාව වැඩි කරගන්න පුළුවන් වේවි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට.”