August 15, 2023

ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය ඉහළ නැංවීමට නව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන ආකාරයට, ගෝලීය හා කලාපීය වශයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කර ගනිමින් නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය කර ගැනීම පිණිස ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ අන්තර්ජාතික ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය ඇමැතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මිට පෙර විවිධ ආණ්ඩු විසින් ආරම්භ කළ මෙවැනි රටේ ප්‍රතිරූපය ඉහල නැංවීමේ වැඩසටහන් වෙනුවෙන් මුදල් වැයකෙරුණු ආකාරය පිළිබඳව දැඩි විවේචන එල්ලවී ඇත.