August 14, 2023

ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command – INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය – 2023 (Indo-Pacific Environmental Security Forum-IPESF) කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී, අද (අගෝස්තු  14) ආරම්භ විය.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ  ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මියයි.

මෙවර 12 වැනි වරට පැවැත්වෙන ඉන්දු ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය, දින හතරක් (04) පැවැත්වෙන අතර, පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් වන තේමාවන් ඔස්සේ පැවැත්වෙන මෙවර සංසදය සඳහා ඉන්දු ශාන්තිකර කළාපය නියෝජනය කරමින් උසස් හමුදා පුද්ගලයන් සහ පරිසරවේදීන් රැසක් සහභාගී වේ.

ඉන්දු ශාන්තිකර කලාපීය පාර්ශවකරුවන් විසින් කලාපීය පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳ උගත් පාඩම් සහ යහපත් භාවිතයන් පිළිබඳව ඉදිරිපත් කිරීම්, සැසි, සිද්ධි අධ්‍යයන සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් මඟින් මෙහිදී දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කෙරේ.

ඒ අනුව, මෙම සංසදයේ සමාරම්භක දිනයේ මාතෘකාව වූයේ දේශගුණික විපර්යාස සහ ආරක්ෂාව (Climate Change and Security) යන්නයි.

සමුද්‍ර, සාගර සහ ජල ආරක්ෂාව (Maritime, Ocean and Water Security), නාගරීකරණයේ බලපෑම සහ ඉඩම් ආරක්ෂාව ( Impacts of Urbanization and Land Security), කාලගුණික විපර්යාස සඳහා ශක්තිමත්ව මුහුණදීමේ හැකියාව ජාතික හා කලාපීය වශයෙන් ගොඩනැගීම (Building National and Regional Resilience) යන තේමාවන් ඔස්සේ ඉදිරි දිනවල සැසි පැවැත්වීමට නියමිතව ඇත.

සමාරම්භක උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංග් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විට යළි ප්‍රකෘතිමත් වීමේ මාවතට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.

“ශ්‍රී ලංකාව ප්‍රථමවරට මෙවර මෙම කාර්යයට සම සත්කාරකත්වය දැක්වීම ගැන මම බෙහෙවින් ආඩම්බර වෙනවා. පසුගිය වසරේ පැවති අභියෝගවල සිට ශ්‍රී ලංකාව නැවතවරක් ප්‍රකෘතිමත් මාවතකට පිවිස ඇති ආකාරය එමගින් අවධාරණය කරනවා. සැබැවින්ම ජාත්‍යන්තර සහ කලාපීය මධ්‍යස්ථානයක කාර්යභාරයයි ඔබ ඉටු කරන්නේ.මෙම සංවාද සමුළුවේ අරමුණ කලාපීය රටවල් එක්වී ගෝලීය අවධානයට ලක්වන ගැටලුවලට විසඳුම් සෙවීමයි. කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ පාරිසරික ආරක්ෂක වැඩසටහන් සඳහා එක්සත් ජනපදයේ සහාය හිමිවනවා. ලෝකය පිළිබඳ අපේ දැක්ම වන්නේ සාර්ථකත්වය හා ස්ථාවරත්වය උදෙසා ලොකු කුඩා සෑම රටකටම සම අවස්ථාවක් හිමිවීමයි. ඔබ ෆීජි දිවයිනේ, ඔස්ට්‍රේලියාවේ, මොගෝලියාවේ හෝ ශ්‍රී ලංකාවේ වාසය කළත් අප සියල්ලන් මුහුණ දෙන්නේ එකම අවදානමකටයි. අපට මේ වසරේ දැඩි කාලගුණ සංසිද්ධීන්ගෙන් ලොව පුරා ජනතාව පීඩාවට ලක්වන ආකාරය දැකගන්න ලැබුණා. නියඟයෙන් දැන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයටත් බලපෑම් ඇති කරනවා. ඒ නිසයි අපි එක්වී අදහස් බෙදා ගැනීම වැදගත් වන්නේ. එමඟින් මෙම පොදු අභියෝගයන්ට මුහුණ දීමට නිර්මාණශීලි මංපෙත් සොයාගැනීමට හැකිවේවි.” තානාපතිනිය වැඩිදුරටත් පැවසීය.