August 13, 2023

අයවැයෙන් වෙන්කරනු ලබන ප්‍රතිපාදනවලින් පළාත් සෞඛ්‍ය සේවය වෙත ලබාදී ඇත්තේ අඩක් පමණක් බව විගණන වාර්තාවක් හෙළි කරයි.

සෑම වසරකම අයවැය ප්‍රතිපාදනවලින් පළාත් සෞඛ්‍ය ආයතනවලට ලැබෙන සියයට 50-60 අතර ප්‍රමාණයෙන් සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට සහ නඩත්තු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ජාතික විගණන කාර්යාලයේ කාර්ය සාධන විගණන වාර්තාව මෙලෙස අනාවරණය කර ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 2,299ක මුල්‍ය ප්‍රතිපාදන ග්‍රාමීය සහ වතු ජනගහනයේ ව්‍යාප්තිය නොසළකා පළාත් නවයකට බෙදා දී තිබෙන බවත්, ග්‍රාමීය රෝහල් සංවර්ධනය සඳහා 2021 වසරේ සමස්ත ප්‍රතිපාදන රුපියල් මිලියන 5000ක් වුවද, ඒ සඳහා ලබාදී ඇත්තේ රුපියල් මිලියන 3,350ක් පමණක් බව එම වාර්තාවේ සඳහන් වේ.

බලධාරීන් ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වූ ආකාරය සහ අනාගතයේදී ඇතිවිය හැකි සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම් නොවී සිටි ආකාරය ද වාර්තාවෙන් අනාවරණය වී ඇත.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නිරෝධායන සහ රෝග නිවාරණ ආඥාපනතට අදාළ සංශෝධන සිදුකර නොතිබීම, තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය තවමත් කෙටුම්පත් මට්ටමේ පැවැතීම, ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම (2021- 2030) අප්‍රේල් මාසයේදී විගණනය සිදුකරන තෙක් අවසන් කර නොමැතිවීම විගණන වාර්තාවේ ඇති ප්‍රධාන විෂමතා වේ.

සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (NAPHS 2019-2023) ඒකාබද්ධ බාහිර ඇගයීම් (JEE) සහ අනෙකුත් සාමාන්‍ය ඇගයීම්වලදී හඳුනාගත් හිඩැස් මත පදනම්ව ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් සකස් කර ඇත.

වාර්තාවේ වැඩිදුරටත් හෙළිකර ඇති ආකාරයට , සෞඛ්‍ය ගැටලු ඉහළම මට්ටමින් සාකච්ඡා කෙරෙන ජාතික සෞඛ්‍ය සභාව 2004 වසරේ සිට රැස්වී නොමැත.

ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව සෞඛ්‍ය අංශයේ අතරමැදි මට්ටම වන නමුත්, 2020 සහ 2021 වසර තුළ පවත්වා ඇත්තේ, වසරකට එක් රැස්වීමක් පමණි.

සෞඛ්‍ය හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට උපකාර වන සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් කර තිබුණේ 2020 දී එක් වරක් පමණි.

2010 වසරේ සිට ආපදා කළමනාකරණය සඳහා වූ ජාතික කවුන්සිලයේ රැස්වීම් පවත්වා නොමැත.

සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 3.8ක් (මිලියන 3,807) රජයේ ඒකාබද්ධ අරමුදල සහ විදේශීය අරමුදල් හරහා අදාළ ආයතන 29කට පමණ ලබා දීමට සිදු වූ නමුත්, විගණනයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉන් 14ක් පමණි.

සත්වෝද්‍යාන රෝග, ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී භාවිතය, ක්ෂුද්‍ර ජීවී අපද්‍රව්‍ය සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල 1992 අංක 59 දරන සත්ව රෝග පනතට 2022 වන විටත් අවශ්‍ය සංශෝධන සිදු කර නොමැති බව වාර්තාව අනාවරණය කරයි.

ප්‍රතිජීවක ප්‍රතිරෝධක සැලැස්ම මුදල් හිඟකම නිසා අපේක්‍ෂිත මට්ටමින් ක්‍රියාත්මක කර නොමැත.

එමෙන්ම වාණිජ පශු සම්පත් හා කුකුළු ගොවිපළවල ජෛව ආරක්ෂණ නිරීක්ෂණ සහ අධීක්ෂණ වැඩසටහන් ආරම්භ කර නොතිබිණි.

ප්‍රතිජීවක ඖෂධ අනවසරයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් දැඩි අධීක්‍ෂණයක් සහ බලාත්මක කිරීම සහතික කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අදාළ පාර්ශ්ව කටයුතු කර නොමැත.