August 11, 2023

අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා පුද්ගලයන්ට මුදලට විකිණූ එම දැරියගේ මවක ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

එම දැරියව ලිංගික අපයෝජනයට ලක්කළ එක් සැකකරුවෙකුවද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දැරියගේ පියා මියගොස් ඇති බවත්, සිව්දරු මවක වන සැකකාරිය පුද්ගලයන්ව නිවසට ගෙන්වාගෙන, එක් පුද්ගලයකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන තම දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

පුද්ගලයන්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය, පැමිණෙන එම පුද්ගලයාව සහ තම දියණියව නිවස තුළට දමා දොරවල් වසා දමා මුරකාවලේ යෙදෙන බවට පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

දැරිය පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන බවත් මව සිදුකරනා මෙම ක්‍රියාව දරාගත නොහැකිව ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට සිද්ධිය පවසා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මව විසින් දැරියව මාස කිහිපයක සිට පුද්ගලයන්ට මුදලට විකුණා ඇති බව දැරිය පොලිසියට කළ ප්‍රකාශයෙන් අනාවරණය වී තිබේ.

දැරියව ලිංගික අපයෝජනයට ලක්කළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියව මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් සැකකාර මව අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.