August 11, 2023

අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට වව්නියාව මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

2011 වර්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරත්නම් ශ්‍රී රංගා විසින් පදවන ලද ලියාපදිංචි නොකරන ලද ජීප් රථයක් අනතුරට ලක්වීමෙන්, ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු මරණයට පත්වීම සම්බන්ධව මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා විසින් පදවන ලද ජීප් රථය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධව එවකට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව නඩු පැවරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

අධිකරණය හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වරද පිළිගැනීමෙන් අනතුරුව, චෝදනා දෙකකට මාස 06ක සහ මාස 12 ක සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව, එය වසර 07කට අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.

ඊට අමතරව මිය ගියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවීමට ද නියෝග කර තිබෙන බවද පොලිස් වාර්තා සඳහන් කරයි.