August 10, 2023

රජය විසින් නිසි පියවර නොගැනීම නිසා උපාධි සහ ගෞරව නාම විකිණීමේ ව්‍යාපාරය මෙලෙස දිගටම ක්‍රියාත්මක කළහොත්, ධනවතකුට තම සුරතලාට වුවද ගෞරව ආචාර්ය උපාධියක් මිලදී ගැනීමට හැකිවනු ඇති බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මහාචාර්ය, ආචාර්ය, කලානිධි, විද්‍යාකීර්ති, විද්‍යාජෝති, දේශබන්දු, දේශකීර්ති, දේශමාන්‍ය, විශ්ව කීර්ති, සහ දේශශක්ති වැනි ගෞරව නාම ඕනෑම පුද්ගලයෙක්ට රුපියල් 30,000 හෝ 40,000 කට මිලදී ගත හැකි බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙම ජාවාරම්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් හෝ එවැනි නියෝජිතයන් ඇතුළු 40ක පමණ පිරිසක් ඉදිරියේ ජනමාධ්‍ය ආවරණය සහිතව මෙම ව්‍යාජ උපාධි පිරිනමන බවත්, එවැනි අවස්ථා වලදී අදාළ මන්ත්‍රීවරයාට සහ ජනමාධ්‍යවේදින්ටද එම ‘නාමයන්’ ලබාදෙන බවද මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

ඇතැම් මන්ත්‍රීවරු එවැනි සම්මන්ත්‍රණවලට සහභාගි වී ‘ආචාර්‍ය’ ලබාගෙන ඇති අතර, එවැනි උත්සවයකදී ගත් ඔවුන්ගේ ඡායාරූප තමා ළඟ තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

වසර ගණනාවක් වෙහෙස මහන්සි වී තම අධ්‍යයන කටයුතු හෝ වෘත්තීය සුදුසුකම් ලබාගන්නා අයට මෙය විශාල අපහසුතාවයක් මෙන්ම අසාධාරණයක්වන බවත්, නිවැරදි නාමයන් නිසි පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පිළිගත් විශ්වවිද්‍යාලවලින් ලබාදෙන බවත්, මන්ත්‍රීවරයා පැවැසීය.

තමා පවසන්නේ මහනායක හිමිවරු ලබාදෙන ගෞරව නාම පිළිබඳව නොවන අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද මහා නායක හිමිවරුන් විසින් එවැනි නම්බු නාම ලබා දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම ක්‍රියාව වැළැක්වීමට නව නීති හඳුන්වා දිය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුදලට උපාධි විකිණීම නීති විරෝධී ව්‍යාපාරයක් බවත්, එයට විරුද්ධව නීති තිබෙන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම එම නීතියට අනුව ලංකාභිමානී, දේශපුත්‍ර, දේශාභිමානී යන පදවි නාම පිරිනැමිය හැකි වන්නේ ජනාධිපතිවරයෙක්ට පමණක් බවද ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපාරයට අනුව, එක් අයෙක් රුපියල් 15,000ක් හෝ 20,000ක් ගෙවූ විට ඔහුට රිසිට්පතක් ලබාදී, නාමයන් 100කින් පමණ ඔහු කැමති ගෞරව නාමයක් ලබාගැනීමේ ප්‍රදානෝත්සවයට ආරාධනා කරන බවත්, එම නිසා මෙම නීති විරෝධී ව්‍යාපාරය නැවැත්විය යුතු බවත්, ඔහු අවධාරණය කළේය.

මෙම ක්‍රියා වැළැක්වීමට නීති තිබෙන අතර, එම නිසා නව නීති අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මෙම සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.

මෙහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙසේ ඇසීය.

“නමේ කොටසක් ලෙස ‘දේශබන්දු’ කියන එක භාවිතය තහනම් කළහොත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කුමක් සිදුවෙයිද?

සභානායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත – දේශබන්දු කියන්නේ නමේ කොටසක් නම් ඉතුරු වෙනවා.