August 8, 2023

මෑත කාලීනව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වාර්තා වූ සිද්ධීන් පිළිබඳ අධ්‍යයනට පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට භාර දී තිබේ.

වාර්තාවට අනුව පේරාදෙණිය රෝහලේදී සිදු වූ 21 හැවිරිදි තරුණියගේ මරණය ඇනෆිලැක්ටික් කම්පනය හේතුවෙන් සිදු වූවක් බව අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පැවසීය.

ඇනෆිලැක්ටික් කම්පනය යනු ඔබ වහාම ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැකි දුර්ලභ, දරුණු අසාත්මිකතා ප්‍රතික්‍රියාවකි.

අදාළ ඖෂධයේ තත්ත්වය පිළිබඳ NDQL විසින් පරිපූර්ණ ස්වාධීන පරීක්ෂණයකින් පසු  නිකුත් කරනු ලබන වාර්තාව අපේක්ෂාවෙන් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ට්විටර් සටහනට එක්කර ඇති වාර්තාවේ නිගමන පරිච්ඡේදයට අනුව විශේෂඥ කමිටුව විසින් සලකා බලන ලද මියයෑම් සහ දරුණු ආබාධ ඇතිවීමේ සිද්ධීන් හයක් අතුරින් පහක් ක්ෂණිකව සිදුවන මරණීය ආසාත්මික ප්‍රතික්‍රියා හේතුවෙන් සිදු වූ ඒවාවේ.

ඉන් හතරක්ම සැක කටයුතු ඖෂධවල හානිකර ප්‍රතික්‍රියා (ADR – Adverse drug reaction) මත සිදුවන්නට ඇති බව කමිටුවේ නිගමනයයි.

කෙසේ වෙතත් පරීක්ෂණ වාර්තාව සකස් කරන අවස්ථාව වන විට අදාළ ඖෂධවල ගුණාත්මක බව සම්බන්ධ පරිපූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලැබී නොතිබුණු බව කමිටුව සඳහන් කර තිබේ.

එමෙන්ම එවැනි ක්ෂණිකව සිදුවන මරණීය ආසාත්මික ප්‍රතික්‍රියා වැලැක්වීම, හඳුනාගැනීම සහ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් සඳහා වන නිර්දේශ ද විශේෂඥ කමිටුව සිය වාර්තාවට එක් කර ඇත.

ක්ෂණිකව සිදුවන මරණීය ආසාත්මික ප්‍රතික්‍රියා කලමනාකරණය සම්බන්ධයෙන් ජාතික මාර්ගෝපදේශ මාලාවක් සැකසීම, එවැනි තත්ත්වයන් හදිසි කලමනාකරණය පිළිබඳ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල සඳහා අනිවාර්ය පුහුණු වැඩපිළිවෙලක් සැකසීම, ආසාත්මිකතා පිළිබඳ 10 සහ 11 ශ්‍රේණිවල දී පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් සැකසීම කමිටුවේ නිර්දේශ අතරින් කිහිපයකි.

එසේම ඖෂධවල ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා වන නිර්දේශ කිහිපයක් ද වාර්තාවට ඇතුළත් වේ.

සෞඛ්‍ය සේවා ආයතනවලට පිළිගත හැකි ගුණාත්මක ආරක්ෂිත සහ ඵලදායී ඖෂධ ප්‍රමාණවත් ලෙස සැපයීමට බාධාවක් විය හැකි ක්‍රියා පටිපාටිමය සහ/හෝ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීම කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම ඖෂධ ප්‍රවාහනයේදී  උෂ්ණත්ව පාලනයේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කර තිබේ.

රටේ ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා, ලියාපදිංචි කිරීමේදී ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ දැඩිව ඇගයීම සහ අහඹු සාම්පල පශ්චාත් අලෙවිකරණ තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීම ද කමිටුව විසින් නිර්දේශ කරනු ලැබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස්ගේ සභාපතීත්වයෙන් යුතුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පත් කරනු ලැබූ මෙම කමිටුව සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත විය

 

.