August 8, 2023

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්‍රයේ ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ ඉන්දියානු ආයෝජකයින් කණ්ඩායමකගේ  අවධානය යොමු වී ඇති අතර ඒ පිලිබඳව සාකච්චා කිරීමට 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද ( අගෝස්තු 08) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය.

මෙම සාකච්චාවේදී ඉන්දියානු ආයෝජකයින් කරුණු දක්වමින් කියා ඇත්තේ කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමල යන වරායන්හි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තම කණ්ඩායම ආයෝජනය කිරීමට අවධානය යොමුවී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, මේ වන විට කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවන් සහ සුඛෝපභෝගී මගී නෞකා සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් ඒ සඳහා කන්කසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කටයුතු කර ඇති බව පැවසීය.

ඒ අනුව ඉන්දියානු රජයේ අවසරය මත මෙම ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කැමති ආයෝජකයින්ට අවස්ථාවන් ලබා දීමට හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉන්දියානු රජයේ අවසරය ඇතිව මෙම මගී ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට කැමත්ත පළ කර ඇති ආයෝජකයින් පිරිස ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී  දීර්ඝ වශයෙන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ජා කරන බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කේෂත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිලිබඳ පැහැදිලි කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,  මත්තල ගුවන් තොටුපල පරිශ්‍රයේ ගුවන් සේවාවන්ට අදාළ විවිධ ආයෝජන අවස්ථාවන් ඇති  බවත්, ඒ සඳහා ඉදිරියේදී තම අමාත්‍යංශය විසින් අභිලාෂයන් කැඳවීමට කටයතු කරන බැවින් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබඳව ඉන්දියානු ආයෝජකයින්ගෙ දැඩි අවධානය යොමුවූ බව අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

එමෙන්ම ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට ශ්‍රී ලංකාවේ රත්මලාන, පලාලි සහ මඩකලපුව යන ගුවන් තොටුපල අතර ඍජු ගුවන් සේවාවන් ආරම්භ කිරීම පිළිබඳ දෙපාර්ශවය සාකච්ඡා කරන ලදී .

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්චාවට ඉන්දියානු ආයෝජක කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය අරවින්ද් ගුප්තා(Dr.Arvind Gupta), අශෝක් කේ කාන්ත්( Ashok K Kanth) යන මහත්වරුන් ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් එක් විය