August 6, 2023

ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ‘සීතාවක ඔඩිසි’ මංගල ගමන් වාරය ආවරණය කරන ලෙස ආරාධනා කර ගෙන්වාගත් ජනමාධ්‍යවේදීන්ට එදින දිවා ආහාරයවත් සැපයීමට සංවිධායකයන් පියවර ගෙන තිබුණේ නැති බව වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ ඇමැතිවරයා විසින් ගමනේ ප්රමුඛතාව ලබාදී තිබූ ලයිස්තුවේ ජනමාධ්‍යවේදීන් අවසානයට සලකුණු කර දෙකේ කොළයට දමා තිබීමයි.

විස්තරය මෙසේය.

ශනිදා සීතාවක ඔඩිසි මංගල ගමන් වාරය ඊයේ (05) පෙරවරුවේ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

බස්නාහිර පළාතේ සංචාරක මණ්ඩලය සංවිධානය කර තිබුණු මෙම සංචාරය සඳහා විදෙස් තානාපතිවරු, සංචාරකයෝ, 30කට ආසන්න ජනමාධ්‍යවේදීහු පිරිසක්, ඇතැම් සංවිධායකයන්ගේ පවුලේ සමාජිකයෝ සහ දැනහැදුනුම්කම්මත ද පිරිසක් සහභාගී වූහ.

වග දුම්රිය ස්ථානයේ සිට ඉදිරි නැරඹුම් ස්ථාන සඳහා යෑමට සිදු වූයේ බස් රථ මඟිනි.

එහිදී ඇමැතිවරයා ඇතුළු පිරිස ඔවුන්ගේ රථවලින්ද, විදෙස් තානාපතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී බස්‍ රථ ද, සංචාරක මණ්ඩලයේ සමාජිකයන් සඳහා වායුසමනය කළ VIP ලෙස සඳහන් කළ බස් රථ ද, යොදවා තිබුණු අතර, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යොදවා තිබුණේ සාමාන්‍ය බස් රථ ය.

කොළඹට ජලය සපයන ප්‍රධානම ජලාශයක්වන කලටුවාව ජලාශය සහ රන්මුදු ඇල්ල නැරඹීමට එහිදී අවස්ථාව ලබාදුන් අතර, ඉන්පසු දිවා ආහාරය සඳහා සංචාරක නිකේතනයක් වෙත ජනමාධ්‍යවේදීන් සහ දැනහැදුනුම්කම්මත පැමිණි පිරිස ද රැගෙන ගියේය.

එහිදී දැනගන්නට ලැබුණේ ආහාර ඇණවුම ලබා දී ඇත්තේ 50කට පමණක් බවත්, ඊට වඩා පිරිසක් මෙහි පැමිණි ඇති බැවින් ඔවුන් සඳහා ආහාර නොමැති බවත්‍ ය.

මේ හේතුවෙන් ජනමාධ්‍යවේදීන් අතර යම් නොසන්සුන්තාවයක් ඇති වූයේ, ජනමාධ්‍යවේදීන් සඳහා සියලු කාර්‍යන් ආවරණය කිරීමට පැමිණෙන ලෙස දැන්වුවද මෙසේ දෙකේ කොළයට දමා සැළකීමේ කනස්සල්ල හේතුවෙනි.

ඇමැතිවරයා ඇතුළු පිරිස, විදේශ තනාපති කණ්ඩායම සහ සංචාරක මණ්ඩලයේ සාමාජිකයන් සඳහා ආහාර ගැනීමට වෙනත් ස්ථානයක් වෙන්කර තිබීමත්, එම අවස්ථාවේ ජනමාධ්‍යවේදීන්ගේ අහාර ගැටළුව සඳහා විසඳුම් ලබා දමට කිසිවෙක් නොමැති වීමත් සමඟම ජනමාධ්‍යවේදීන් අතර නොසන්සුන්තාවයක් ඇති විය. ඇතැම් ජනමාධ්‍යවේදීන් සංවිධායකයන්ට ‘බැන අඬගසනු’ දැකගත හැකි විය.

පැයකට වඩා වැඩි කාලයක් දිවා ආහාරය නොමැතිව එහි රඳවා සිටි පිරිස වෙත පැමිණි බස්නාහිර පළාතේ සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා පැමිණ, නිදහසට කරුණු රැසක් පවසමින් අදාළ පිරිසට දිවා ආහාරය සඳහා වෙනත් ස්ථානයකට පැමිණෙන ලෙස දැන්විය.

සවස හතරට පමණ වෙනත් ස්ථානයකට පැමිණිය ද එම ස්ථානයේ සම්පාදනය කර තිබුණේ ‘ජාම බේරාගැනීමට’ හදිසියේ ගෙනවිත් තැබූ ආහාර ප්‍රමාණයකි.

එම අවස්ථාවේද ජනමාධ්‍යවේදීන්ට මෙසේ සැළකීම පිළිබඳව සභාපතිවරයා සමඟ යළි නොසන්සුන්තාවක් ඇති විය.

එහිදී ඇතැම් ජනමාධ්‍යවේදීන් ආහාර ප්‍රතික්ෂේප කළ අතර, ඇතැමෙක් වෙනත් විකල්පයක් නොවූ නිසා ආහාර ගත්හ.

මෙම ‘පීචං’ සිදුවීමෙන් අනතුරුව ඇතැම් ජනමාධ්‍ය ආයතන එතෙක් වේලා සිදුකළ වාර්තා කිරීම් සහ පටිගත කිරීම් නවතා දැමීමටද පියවර ගනු දැකගත හැකි විය.

කෙසේවෙතත් ඇතැම් ජනමාධ්‍යවේදීන් මෙහිදී පෙන්වා දුන්නේ, පත්තර කන්තෝරු පීචං කරමින්, ජනමාධ්‍ය වෘත්තීය හෑල්ලු කරමින් චිත්‍රපට නිෂ්පාදනය කිරීමට කෝටි ගණන් වැයකරන, ඒවාට ලැබූ සම්මාන ගැන උජාරුවෙන් යන යන තැන කතාකරන බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍යවේදීන්ට මෙසේ එන්න කියා කන්න නොදීම ගැන දැනගත්තේ නම්, වහාම සංවිධායකයන් තනතුරුවලින් පවා පහකරනු ඇති බවයි.

එහෙත් අවාසනාවකට බන්දුල ගුණවර්ධනට ජනමාධ්‍යවේදීන්ගේ කෑම ගැන බලනවාට වඩා එම ගමනේ තවත් වැඩ තිබුණේය.