August 4, 2023

රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් තොරතුරු විමසා තිබේ.

2019 වසරේදී තංගල්ල කාල්ටන් නිවසේ පැවැති උත්සවයක් සඳහා  ආරක්ෂක පහන් සවිකිරීම සහ විදුලි ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති මුදලක් සම්බන්ධයෙන් වන ලිපියක් අද (04) මාධ්‍ය වාර්තා කළේය.

මෙම තොරතුරු වාර්තා වුණේ ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික නලින් හේවගේ මහතා විසින් තොරතුරු පනත යටතේ කළ ඉල්ලීමක් අනුවය.

2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයට අදාළව විදුලිය සැපයීම වෙනුවෙන් මෙතෙක් ගෙවා නැති මුදල රු.26,82,246.57ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. වී. ජනෙත් මහතා තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය අදාල කාලය තුල පැවැත්වුණි.

එම ලිපියේ සඳහන් වන විදුලි බිල්පතේ නිවැරදි තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබා දෙන ලෙස සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ….

 

සංජීව විජේරත්න
කාල්ටන් නිවස
තංගල්ල
2023.08.04

සභාපති
ලංකා විදුලිබල මණ්ඩලය ,
ශ්‍රීමත් චිත්තම්පලම්.ඒ.ගාඩිනර් මාවත,
කොළඹ 02.

සභාපතිතුමනි,

සමාජ මාධ්‍ය මගින් සංසරණය වන නොගෙවූ විදුලි බිල්පතකට අදාල ලිපිය සම්බන්ධවයි.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම සදහන් කරමින්,2019 වර්ෂයට අදාල නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති ඔබ ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පවතී.නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ හා අයතනික- බෙදා හැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය මේ සමග අමුණා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන මෙම ලිපියට අදාලව,විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක,කුමන ලිපිනයක් සදහා යොමු කර ඇත්ද යන වගත්,එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.
ස්තුතියි

සංජීව විජේරත්න
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්