August 4, 2023

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එම නිසා ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළට බාධා නොකරන ලෙස තමා විශේෂයෙන් කුඩා දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවැසීය.

පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩනොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (04) පැවැති පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන වාර්ෂික හමුව අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවැසීය.

“මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳාගනිමින් ඉදිරියට යෑමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහිදී සිදුවන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමුවිය යුතුයි.

රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය මගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නිතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.

මේ ගෙනයන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙනයනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබාගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.”