August 4, 2023

ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද යළි අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තාවට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අද (අගෝස්තු 04) ගැනුම් මිල රුපියල් 312.55ක් විය.

ඊයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.60ක් ලෙස සටහන්ව තිබුණි.

අද විකුණුම් මිල රුපියල් 326.65කි.

මේ අතර ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක ද ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල  පෙර දිනට සාපේක්ෂව  ඉහළ ගොස් තිබුණි.

සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 313ක් විය.

කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 310.55ක් සහ විකුණුම් මිල රුපියල් 325ක් ලෙස දැක්වුණි.

මහජන බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.37ක් සහ විකුණුම් මිල රුපියල් 328.78ක් ලෙස සටහන් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර පැවසුවේ වෙළෙඳපොළේ උපකල්පන මත මෙලෙස ඩොලරයේ අගය ක්ෂණික වෙනස්වීම්වලට ලක්වන බවයි.

විනිමය අනුපාත නිශ්චිත මට්ටමක පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් මහබැංකුවට නොමැති බවද ඔහු පැවසීය.

ආනයන හා අපනය අතර පරතරය කුඩා වීම සහ වෙනත් විදේශ විනිමය ගලා ඒමේ මාර්ග ඉතා හොඳින් සක්‍රීය වී තිබීම හේතුවෙන් ඩොලරය මත විශාල පීඩනයක් ඇති වීමේ තත්ත්වයක්  විනිමය වෙළඳ පොළ තුළ මේ මොහොතේ නැතැයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

ණය සේවාකරණය යළි ආරම්භ වූ පසු රුපියල විශාල ලෙස අවප්‍රමාණය වනු ඇති බවට පවතින කටකතා පදනම් විරහිත බව ආචාර්ය හරිස්චන්ද්‍ර පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් බලාපොරොත්තු වන්නේ එවැනි තත්ත්වයක් වළක්වා ගැනීම බවයි.

ඉදිරියේදී බහුපාර්ශ්වික ආයතන හරහා මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අනාවරණය කළේය.