August 4, 2023

විදුලි ගාස්තු යළි ඉහළ දමන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මස 21 වැනිදායි.

පෙර ගාස්තු අඩුකිරීම ක්‍රියාත්මක වී දින 20කට පසු විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු තීරණය කරන්නේ පිරිවැය පරාවර්තක ක්‍රමයක් මත නොවන බවයි.

එම යෝජනාවට අදාළ ලේඛනයට අනුව, ලංවිමට ගිගාවොට් 500 ක් මිලදී ගැනීමට අවශ්‍ය වේ.

එහෙත් ලංවිමට කොපමණ කාලයක් මෙම මිලදී ගැනීම සිදුකිරීමට අවශ්‍යද යන්න මෙම ලේඛනයේ දක්වා නැත.

මේ අතර රටට අඛණ්ඩව විදුලිය සැපයීම තහවුරු කිරීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පාවෙන බලාගාර හෝ විදුලි ජනන ‘බල නෞකාවක්’ මගින් රටේ පවතින විදුලි අර්බුදය විසඳාගත හැකි බවයි.

බල නෞකාවක්(POWER SHIP) යනු බලශක්ති උත්පාදන සඳහා බලාගාරයක් සවි කර ඇති විශේෂ කාර්ය නෞකාවකි.

2019 වසරේ එවකට යහපාලන ආණ්ඩුවේ සිටි විදුලිබල ඇමැති රවී කරුණානායක විසින් එවැනි බල නෞකාවක් තුර්කියේ පිහිටි සමාගමකින් මිලදී ගැනීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.